සම්පත් බැංකුව සිය ATM හරහා ස්පර්ශයකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් හඳුන්වා දෙයි

සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපයේද ප්‍රථම වරට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාවක් හඳුන්වා දුන් බව නිවේදනය කර සිටියි.

ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මෙම සේවාවේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ ගනුදෙනුව සම්පත් බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කරන ලදී.

සම්පත් බැංකුවේ සභාපති හර්ෂ අමරසේකර, කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන තොරතුරු නිළධාරී අජිත් සල්ගාදු, ජාත්‍යන්තර වෙළෙඳපොල හා ණය පාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා යන මහත්ම මහත්මීන්ද ඊට එක් වූහ.

මෙම සේවාව යටතේ සම්පත් WePay යෙදුම (app) භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය මත දිස්වන QR කේතය ස්කෑන් කිරීම තුළින් දිවයින පුරා පිහිටුවා ඇති ඕනෑම සම්පත් බැංකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ලබා ගැනීමේ හැකියාව සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට පමණක් නොව අනෙකුත් බැංකු ගනුදෙනුකරුවන් වෙතද උදා කර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙහි තිරය හෝ මතුපිට ස්පර්ශ කිරීමකින් තොරව අවදානම අවම කිරීම හා  ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම සේවාව වර්තමානයේ ක්‍රියාත්මක ගෝලීය කොවිඩ් 19 වසංගත තත්වය තුළ වුවද ආරක්ෂිතව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීම සඳහා කදිම විසඳුමක් වනු නිසැකය.

1988 වසරේදී මෙරට ප්‍රථම බහු ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය හඳුන්වා දීම ඇතුළු බැංකුව ආරම්භ වූ දා සිට නව්‍යකරණ සේවාවන් රැසක් වෙළෙඳපොලට හඳුන්වා දුන් සම්පත් බැංකුවෙහි තවත් එක් සුවිශේෂී ඩිජිටල් විසඳුමක් ලෙස මෙම ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාව සඳහන් කළ හැකිය.

මෙම සේවාවේ සමාරම්භක ගනුදෙනුව සඳහා එක් වූ ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා “කලාපය තුළ මේ ආකාරයේ සේවාවක් හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙය වනු ඇති අතර එය අප සියලු දෙනාට ආඩම්බරයට කරුණක් බවද මතක් කළ යුතුයි. වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුධය හේතුවෙන් මුහුණ දීමට සිදුව ඇති අභියෝගයන් ජය ගැනීමට උපකාරී වන මේ ආකාරයේ නව්‍ය විසඳුම් තව දුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් රටක් ලෙස අප සියලු දෙනා එක්ව කටයුතු කරමු” යනුවෙන් පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “නිරන්තරයෙන් නව්‍ය ඩිජිටල් බැංකුකරණ විසඳුම් සකස් කිරීමට මෙන්ම ඉදිරිපත් කිරීමටද කටයුතු කරන අප යම් යම් ගනුදෙනු සඳහා සෑම විටම මුදල් ආපසු ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව වඩා හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ඒ පිළිබඳව අපගේ අවධානය යොමු කරමින් අපගේ ඕනෑම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ සේවාව හඳුන්වා දීමට කටයුතු කළා. මේ ආකාරයේ සේවාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව ලෙසද මෙය සඳහන් කළ හැකියි”යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නන්ද ප්‍රනාන්දු මහතා “සම්පත් බැංකු ගනුදෙනුකරුවන්ට මෙන්ම දිවයිනේ අනෙකුත් සියලු බැංකුවල ගනුදෙනුකරුවන්ට සම්පත් WePay යෙදුම භාවිත කරමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයේ තිරයේ දිස්වන QRකේතය ස්කෑන් කිරීම තුළින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය මතුපිට ස්පර්ශ කිරීමකින් තොරව මුදල් ආපසු ගැනීමේ හැකියාව දැන් උදා කර දී තිබෙනවා. විශේෂයෙන් වත්මන් ගෝලීය වසංගතය තුළ බැංකු ගිණුම් හා කාඩ්පත් මඟින් මුදල් ලබා ගැනීමේදී සම්පත් WePay හරහා ස්පර්ශයකින් තොරව මුදල් ලබා ගනිමින් තමන්ගේ සුරක්ෂිතතාව හා පහසුව සළසාගන්නා ලෙස සියලුම ශ්‍රී ලාංකිකයන්ට මා මේ මොහොතේ ආරාධනා කිරීමට කැමතියි” යනුවෙන්ද පවසා ඇත.

Visits: 135