අන්තර්ජාල ගණුදෙනු සඳහා බදු පැනවීම සහ බ්ලොක්චේන් ගැන ඇමති නාමල්ගෙන් සටහනක්

අන්තර්ජාලය හරහා ගනුදෙනු සඳහා රජය බදු පැනවීම තුළින් ඊ-වාණිජ වේදිකා සඳහා බදු වැඩි කර ඇති බවට සහ මාර්ග ගත ගනුදෙනු සඳහා බැංකු විසින් 6.5% සිට 7% දක්වා ආරක්‍ෂක ගාස්තුවක් අය කිරීම සම්බන්ධයෙන් මෙන්ම බ්ලොක්චේන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් දැනටමත් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමගින් මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සමගින්ද සාකච්ඡා කර තිබෙන බව රාජපක්ෂ මහතා පවසයි. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වෙයි,

2020 දී කොවිඩ් -19 ගෝලීය වසංගතය ආරම්භයේ සිටම මිනිසුන්ගේ සංචරණ සීමා කර ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අන්තර් ජාලය ඔස්සේ වෙළදාම් සිදු කිරීම වේගවත් වීම වගේම ඩිජිටල් ආර්ථිකයේ දැඩි නැගීමක් ආරම්භ වුනා.

ඩිජිටල්කරණය තුළින් රටවල් කිහිපයක් ඉදිරියට යමින් සිටියත් පසුගිය රජය ඒ ගැන වැඩි තැකීමක් හෝ ක්‍රියා මාර්ග නොගත් නිසා මෙම ක්ෂේත්‍ර පුළුල් කිරීමේ හැකියාව අපට රටක් ලෙස නොතිබුණි. කෙසේ වෙතත් මේ වනවිට අප ඩිජිටල්කරණයේ වැදගත්කම මනාව තේරුම් ගනිමින් රටක් ලෙස එම ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ‍රැසක් ගෙන තිබෙන අතර ඉදිරි වසර කිහිපය තුල එහි වේගවත් වර්ධනය වෙනුවෙන් දැනටමත් ප්‍රතිපත්තිමය සහ ව්‍යුහමය වෙනස්කම් සදහා කටයුතු කරමින් සිටිනවා.

අන්තර්ජාලය හරහා ගණුදෙනු සඳහා බදු පැනවීම තුළින් රජය ඊ-වාණිජ්‍යය වේදිකාවන් සඳහා බදු වැඩි කර ඇති බවට කටකතා අද වනවිට පැතිරෙමින් තිබෙනවා. මෙය සම්පූර්ණයෙන් අසත්‍යයකි. ඊ-වාණිජ්‍යය වේදිකාවන් සහ ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව තුළ සිය සලකුණ සලසා ගැනීමට හැකි වන ඕනෑම ව්‍යාපාර අවස්ථාවන්ටම සෑම ආධාරයක්ම සහ සෑම පහසුකමක්ම ලබා දෙන බවට රජයේ ස්ථාවරය නැවත මා අවධාරණය කිරීමට කැමතියි.

මෑතකදී ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන් සමඟ පැවති සාකච්ඡාවකදීත්, විශේෂයෙන් ගෝලීය වශයෙන් සියලුම රටවල් මේවනවිට පශ්චාත් කොවිඩ් ලෝකයට හෙවත් “නව සාමාන්‍යයට” හැඩ ගැසෙමින් පවතින හෙයින්, වැඩි වශයෙන් ව්‍යාපාර ඩිජිටල්කරණයට යොමුව ඇති නිසා අප ද රටක් ලෙස ඔන්ලයින් වේදිකාවන් නිර්‍මාණය කිරීමේ ඇති දැඩි අවශ්‍යතාවයක් පවතින බව සාකච්ඡා කරන්නට යෙදුනි. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ද එම අදහසට එකඟ වූ අතර ජනතාවගේ සංචරණයන්ට සීමා පැනවෙන මෙවැනි පසුබිමක වැඩි වශයෙන් ව්‍යවසායකයින් මතු විය හැකි අතර වැඩි පිරිසකට තම ව්‍යාපාර දියුණු කරගැනීමට ඩිජිටල්කරණයේ සහාය ලබාදෙමින් සිය කර්මාන්ත පුළුල් කිරීමට අවස්ථා සැළසීම ගැන මේවනවිටත් සාකච්ඡා කෙරෙමින් පවතින්නකි.

කලින් 2% ක අධිභාරයට සාපේක්ෂව, මාර්‍ගගත ගණුදෙනු සඳහා බැංකු මඟින් 6.5% සිට 7% දක්වා ආරක්‍ෂක ගාස්තුවක් අය කරන්නේ ඇයි දැයි බොහෝ දෙනෙක් මගෙන් පහුගිය දිනවල විමසුවා. මෙය රජයේ ප්‍රතිපත්තියක් නොවන අතර ඇත්ත වශයෙන්ම එය අය කරනු ලබන්නේ පෞද්ගලික බැංකු විසින්. රජයට එහි කිසිඳු සම්බන්ධකමක් නැත. මෙම ගාස්තුව ඊ-බේ, නෙට්ෆ්ලික්ස් වැනි සේවාවන් සඳහා වන බවට වැඩි වැඩියෙන් පැමිණිලි ලැබෙමින් පවතින අතර , විශේෂයෙන් මිනිසුන්ගේ ආදායමට බලපෑමක් ඇති වූ මෙවන් අවස්ථාවක පාරිභෝගිකයින්ගේ යහපත උදෙසා මෙම කාරණාව කෙසේ විසඳිය හැකිදැයි සොයා බලන ලෙස ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන් පසුව ගරු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමන්ට උපදෙස් ලබාදුන් අතර මේවනවිට මෙම කරුණ ගැන අවධානය යොමුව තිබෙනවා. මෙම ගණුදෙණු විදේශීය සමාගම් සමඟ සිදුවන හෙයින් ඩොලරයේ අගය වෙනස්වීම මෙයට හේතුව බව පැහැදිලි කළ කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා පෞද්ගලික බැංකු සමඟ මෙම ගැටළුව ගැන යුහුසුළුව සාකච්ඡා කරමින් සිටින අතර ගරු රාජ්‍ය අමාත්‍ය කබ්රාල් උත්සාහ කරමින් සිටින්නේ මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මණින් විසඳුමක් ලබා ගැනීමටයි.

රජය කිසි විටෙකත් මාර්ගගත වේදිකාවන්, ඊ-වාණිජ්‍ය වේදිකා හෝ ඩිජිටල් ව්‍යාපාර සඳහා බදු අය නොකරන අතර ඇත්ත වශයෙන්ම ගරු මුදල් ඇමතිවරයා විසින් සකස් කරන ලද ඊළඟ අයවැයෙන් මේ සඳහා සහන ලබා දෙන්නට දැනටමත් කටයුතු සූදානම් කොට අවසන්. ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමන් මා හට සහතික වී ඇත්තේ මෙවැනි වේදිකා තවත් ඉහළ නැංවීමට මාවත සලසන බවටයි.

විදේශීය මුදල් ගලා ඒම සමඟ ඊ-ව්‍යාපාර සඳහා වන බදු තවදුරටත් ලිහිල් කිරීමට මා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සමඟ ද සාකච්ඡා කරමින් සිටිනවා. E-Gaming හෙවත් ඊ-ක්‍රීඩාව ද අද වනවිට බාල මහළු සියලු දෙනාම ආකර්ෂණය කරන ඩොලර් බිලියන සිය ගනනක් වන ඉතා විශාල ගෝලීය වෙළෙඳපොළක් බවට පත්ව තිබෙනවා. මෙයින් බොහෝ දෙනෙක් ජීවනෝපාය මාර්ග සකසාගෙන ඇති අතර විදේශ විනිමය ආකර්ෂණය කර ගන්නා වටිනා ඊ-ක්‍රීඩා ලංකාව තුළ ව්‍යාප්ත කිරීම මගේ අරමුණයි. වර්තමානයේ ඊ-ක්‍රීඩාව හරහා මෙරටට පැමිණෙන විදේශීය මුදල් සඳහා මහ බැංකුව බදු පනවා ඇති නමුත් මෙය කර්මාන්තයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කළ හැකි තැනකදී එය කෙසේ විසඳිය හැකිදැයි මා සාකච්ඡා කරමින් සිටිනවා. මේ නිසාවෙන්ම තමයි පසුගිය වසරේ මා තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්නා විටදී ලාංකීය ක්‍රීඩාව සංවර්ධනයට යොදාගන්නා ප්‍රදාන උපායමාර්ග සතර අතරින් එක් කුලුනක් ලෙසින් මා ඊ-ක්‍රීඩාව සදහන් කලේ.

තවද, විදෙස් මුදල් හරහා විශාල ඩිජිටල් ආර්ථිකයක් පවතින බ්ලොක්චේන් රජයට කෙසේ ප්‍රවර්ධනය කළ හැකිදැයි මා සාකච්ඡා කරමින් සිටින අතර ඩිජිටල් බැංකුකරණය ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳහා රජයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ගරු මුදල් ඇමතිවරයාගේ උපදෙස් මත කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම තෙක් පැමිණ තිබෙනවා. මෙම අනුමැතිය තුළින්, බ්ලොක්චේන් සහ ක්‍රිප්ට්‍රෝ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකි වන අතර, ඩිජිටල් බැංකුකරණය ගැන ප්‍රතිපත්ති සකස් කිරීමට මෙන්ම බ්ලොක්චේන් හා සම්බන්ධ කර්මාන්ත සඳහා තරුණයින් පුහුණු කිරීමට අවශ්‍ය වන කමිටුවක් පත් කිරීමට ද මා බලාපොරොත්තු වනවා.

අප රටක් ලෙස ඉදිරියට යෑමට මෙවැනි කාරණා පිළිබඳව අවධානයක් යොමු කර ඇති අතර ගෝලීය වශයෙන් මෙන්ම අපගේ ඩිජිටල් ආර්ථිකය පුළුල් කළ හැකි ඊ-වාණිජ්‍යය වේදිකාවන් නිර්‍මාණය කිරීමට එහි ඇති හැකියාවන් අප උපරිමයෙන් උපයෝගී කර ගත යුතුය. මෙම කර්මාන්තයන්ට විශාල විදේශ විනිමය ආකර්ෂණය ලබා ගත හැකි අතර මහා පරිමාණ රැකියා උත්පාදනය ද ඇති කළ හැකිය. මෙම නව සාමාන්‍ය ලෝකයේ අපට වාසි වන ලෙස මෙම අංශ ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ හැමෝගෙම නැවුම් හා වැදගත් අදහස් දැන ගැනීමට ද මා බලාපොරොත්තු වනවා.

Hits: 359