රයිගම් වයඹ ලුණු සමාගමේ ලාභාංශ නිවේදනයෙන් කොටසක් 1.30%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත රයිගම් ලුණු සමාගම (රයිගම් වයඹ සෝල්ටර්න්ස් පීඑල්සී) (RWSL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 10ක් බැගින් ලාභාංශ ගෙවන බව සමාගම පවසයි.

මෙය 2020/21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම ලෙසද සඳහන් වෙයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ඔක්තෝබර් 11 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ඔක්තෝබර් 01 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය වන බවත් ඒ සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන සැප්තැම්බර් 30 වැනිදා පැවැත්වීමට කටයුතු යොදන බවත් රයිගම් වයඹ සෝල්ටර්න්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙම ලාභාංශ ගෙවීමේ නිවෙදනය නිකුත් කෙරුණු පසුගිය සිකුරාදා දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී රයිගම් වයඹ සෝල්ටර්න්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 7.80ක් විය. එය ඊට පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 7.70ට සාපේක්ෂව ශත 10ක එනම් 1.30%ක ඉහළ යාමකි.

2020 මාර්තු 31 වැනිදා වනවිට රයිගම් වයඹ සෝල්ටර්න්ස් පීඑල්සී සමාගමේ කොටස් හිමිකමෙන් 35.83%ක හිමිකාරීත්වය රයිගම් මාර්කටිං සර්විසස් (පෞද්) සමාගම වෙත හිමිය. එසේම රයිගම් ඩිස්ට්‍රිබියුටර්ස් (පෞද්) සමාගම වෙතද 35.83%ක කොටස් හිමිකාරීත්වයක් පවතී. සමාගමේ තෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. එය 13.49%ක ප්‍රතිශතයකි.

Visits: 385