“විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන්න” – මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි

ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම් තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිදු නව සීමාවක් ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. කෙසේ වෙතත් විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

“මෙම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබාදී ඇති බවත් ජනතාව වෙත දැනුම් දී සිටිමු.” මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

විශේෂයෙන්ම ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම් තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබීම මෙම නිවේදනයට හේතුව බව මහ බැංකුව පවසයි.

“කෙසේ වෙතත් ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරිම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම්සිමාවන් හඳුන්වාදී ඇති බව නිරීක්ෂණය කර ඇත.  

ඒ අනුව ණය කාඩ්පත්, හර කාඩ්පත් භාවිතා කරමින් නීත්‍යානුකූලව ගෙවීම් සිදු කිරීමේ යම් දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කරගන්නා ලෙසත් විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.” මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.dfe.lk හි භාගත කිරීම් යටතේ දක්වා ඇති විදේශ විනිමය පනත යටතේ බලයලත් වෙළෙදුන්ට නිකුත් කර ඇති, 1. ජංගම ගනුදෙනු සඳහා වන 2021.03.18 දිනැති අංක 02 දරන විදානයන්, 02. විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් සඳහා වන 2021.03.18 දිනැති අංක 03 දරන විදානයන් වෙත පිවිස මෙම කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගන්නා ලෙසත් මහ බැංකුව දැනුම් දී සිටියි.

Views: 194