පිටපිට තෙවැනි දිනයටත් දෛනික පිරිවැටුම රු. බිලියන 5 ඉක්මවයි

රට තුළ ලොක්ඩවුන් සීමා පැනවීමක් සම්බන්ධයෙන් පැවැති අදහස අද (අගෝස්තු 20) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ආයෝජකයන් වෙත යම් බලපෑම් එල්ල කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් පෙර දිනවලදී මෙන්ම අද දිනයේදීද වටිනා සමාගම්වල කොටස් මිලදී ගැනීම සඳහා ඉහළ උනන්දුවක් පැවැතීම කැපී පෙනුනු අවස්ථාවක් විය. ඒ හරහා පිට පිට තෙවැනි දිනටත් දෛනික පිරිවැටුම රුපියල් බිලියන 5ක් ඉක්මවීමක්ද සිදු විය. කෙසේ වෙතත් විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම්වල කොටස් වටිනාකම් සම්බන්ධයෙන් පැවැති වාෂ්පශීලතාව දිනය පුරාම දර්ශක අගයන්ගේ උච්චාවචනය වෙත බලපෑ බවද එම සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,207.55ත් ඒකක 8,315.23ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,240.06ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 19) දිනයට සාපේක්ෂව ඒකක 20.02ක් එනම් -0.24%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 63ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 120ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+19.76), හේලීස් ෆැබ්රික් පීඑල්සී MGT (+3.36), සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී CINS (+1.8), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+1.48), ප්‍රින්ට් කෙයාර් පීඑල්සී CARE (+1.31), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-12.9), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-10.62), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-7.62), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී පීඑල්සී LOLC (-7.21), හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL (-6.16යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,051.64ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 19දා) ‍ට සාපේක්ෂව ඒකක 4.57ක එනම් +0.15%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.61ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 19දා) වාර්තා කළ රුපියල් බිලියන 5.46ට සාපේක්ෂව 2.7% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.67ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 23.89%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 396.95ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 771.15ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 374.19කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 37.23ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 68.79 කි. එසේම හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 429.83ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,641ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 29%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ආහාර, පාන වර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,137ක සහ රුපියල් මිලියන 683ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 160