මහජන බැංකුව 60 වසරක ඉතිහාස ග්‍රන්ථය අගමැතිතුමාට පිළිගන්වයි

මහජන බැංකුව සිය 60 වසරක අභිමානය අන්තර්ගත කරමින් සම්පාදනය කළ ඉතිහාස ග්‍රන්ථය එහි සභාපති සුජීව රාජපක්ෂ මහතා අද (16) දින පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පිළිගැන්වීම සිදුව තිබේ.

වසර 60ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහජන බැංකුව ලබා දුන් විශිෂ්ට දායකත්වය සහ එම කාලය තුළ බැංකුවේ දියණුව වෙනුවෙන් කටයුතු කළ සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරින් සහ සාමාන්‍යාධිකාරිවරුන් පිළිබඳ තොරතුරු ද මෙම ග්‍රන්ථයට ඇතුළත්ය.

සිය හැට වසරක ඉතිහාසය තුළ  මහජන බැංකුව මිලියන 14ක ජනතාවක් සමඟ ගනු දෙනු කරන අතර ඊට අදාළව පවත්වාගෙන යන ගිණුම් සංඛ්‍යාව මිලියන 18කි.

මෙරට ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන මහජන බැංකුව රුපියල් ට්‍රිලියන 2.3ක ශේෂ පත්‍රයකට හිමිකම් කියයි.

සේවක සේවිකාවන් 8000කින් සැදුම්ලත් මහජන බැංකුව රට පුරා පවත්වාගෙන යන ශාඛා සංඛ්‍යාව 748කි.

හැට වසරක් පුරා රට වෙනුවෙන් අඛණ්ඩ මෙහෙවරක නිරතවීමට මහජන බැංකුව ආරම්භයේ සිට මේ දක්වා ගෙන ඇති   ක්‍රියාමාර්ග සහ බැංකුවේ ක්‍රමික විකාශය පිළිබඳව මෙම ග්‍රන්ථයට අන්තර්ගත බව සභාපති සුජීව රාජපක්ෂ මහතා ග්‍රන්ථය පිළිගන්වමින් අග්‍රාමාත්‍යතුමාට පැහැදිළි කළේය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි හා සමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.

Views: 32