සණස සංවර්ධන බැංකුවෙහි දෙවැනි මහජන නිකුතුවේ පළමු අදියරට අධි දායකත්වයක්

සණස සංවර්ධන බැංකුව (SDB බැංකුව) මගින් පසුගිය අගෝස්තු 05 වැනිදා නිකුත් කළ සිය දෙවැනි මහජන නිකුතුවේ පළමු අදියර සඳහා අධි දායකත්වයක් හිමි වූ බව එම බැංකුව පවසයි.

ඊයේ (අගෝස්තු 12දා) පස්වරු 4.30ට මෙම දෙවැනි මහජන නිකුතුව සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව කල් පිරුණි. ඒ අනුව මෙම නිකුතුවේදී පළමු අදියර ලෙස ඉදිරිපත් කළ සණස සංවර්ධන බැංකුවෙහි ඡන්ද හිමි නව කොටස් 68,000,000ක් කොටසක් රුපියල් 51.50ක් බැගින් අධි දායකත්වයක්ද සහිතව මිලදී ගැනීම සිදු කර තිබේ. එහි වටිනාකම රුපියල් බිලියන 3.5ක් (3,502,000,000ක්) විය.

එසේම මෙම අධි දායකත්වයත් සමගින් නිකුතුවේ දෙවැනි අදියර ලෙස තවත් නව කොටස් 20,000,000ක් නිකුත් කිරීම සිදු වූ අතර, එහිදීද කොටසක් රුපියල් 51.50ක් බැගින් මිල කෙරී තිබුණි. කෙසේ වෙතත් මෙම නිකුතුවේ අවසන් ගනුදෙනුවක් පිළිබඳව බැංකුව අනාවරණය කර නැත.

සැලසුම් කළ ආකාරයට මෙම නිකුතුවේදී සමස්ත කොටස් මිලියන 88ක් නිකුත් කිරීම සිදු වුණු අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 4.5 ක් විය.

මෙම දෙවැනි මහජන නිකුතුවෙන් පසුව ඉදිරිපත් වන සණස සංවර්ධන බැංකුවෙහි කොටස් අතරින් 10%ක් අත්පත් කරගැනීමට සංවර්ධන වෙමින් පවතින රටවල් සඳහා වන බෙල්ජියානු ආයෝජන සමාගමක් (BIO – Belgian Investment Company for Developing Countries) කැමැත්ත පළ කර ඇතැයි එම බැංකුව පසුගියදා අනාවරණය කර තිබුණි.

මෙම නිකුතුවට පෙර සණස සංවර්ධන බැංකුව (SDB) බැංකුව මගින් කිතුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය 91,576,032 කි. එසේම ඊයේ නිමාව දුටු මෙම දෙවැනි හිමිකම් නිකුතුව හරහා ඉදිරිපත් කිරීමට යෝජිත වූ කොටස් ප්‍රමාණය කොටස් 88,000,000 කි (මිලියන 68ක් සහ මිලියන 20ක් බැගින් අවස්ථා දෙකේදී). ඒ අනුව මෙම නිකුතුවෙන් අනතුරුව බැංකුව මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය 179,576,032 ක් බවට පත් වෙයි.

මෙහිදී බෙල්ජියානු ආයෝජන සමාගම මගින් මෙලෙස මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇත්තේ එම කොටස් ප්‍රමාණයෙන් (179,576,032න්) 10%ක් එනම් 17,957,700 කි. එහිදී මෙම දෙවැනි හිමිකම් නිකුතුවේදී කොටසක අගය ලෙස සඳහන් කර තිබෙන රුපියල් 51.50 බැගින් මෙම මිලදී ගැනීමට එම සමාගම කැමැත්ත පළ කර තිබෙන බවත්, එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් 924,821,550ක් වන බවත් පැවසෙයි.

මේ ආකාරයට අදාළ ආයෝජන සමාගම මගින් යෝජනා කර ඇති මිලදී ගැනීම සම්පූර්ණ වුවහොත් සහ මෙම හිමිකම් නිකුතුව සඳහා සම්පූර්ණ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එය මෙම දෙවැනි හිමිකම් නිකුතුවෙන් ආසන්න වශයෙන් 20%ක ප්‍රතිශතයක් ගන්නා බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී සණස සංවර්ධන බැංකුවෙහි කොටසක වටිනාකම රුපියල් 50.60ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ සටහන් වූ රුපියල් 50.30ට සාපේක්ෂව ශත 30ක එනම් 0.60%ක ඉහළ යාමකි.

Views: 88