දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සංවිධානයක් බිහි කීරිමේ සූදානමක්

ආර්ථිකයන්හි වර්ධනය වන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටේම ප්‍රමුඛ අපනයනකරුවන්, ආයෝජකයින් සහ වෙළඳ හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් යුතුව, දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයක් සංවිධානය කිරීමට දෙරටේම අවධානය යොමුව ඇතැයි පවසයි.  

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ප්‍රගතිශීලී ව්‍යාපාරික සංසදයේ කැඳවුම්කරු සිෆෝ ම්බෙලේ මහතා ඉකුත් දා දකුණු අප්‍රිකාවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් සිරසේන අමරසේකර මහතා හමු වු අවස්ථාවේදී මෙම කාරණය පිළිබදව දීර්ඝව සාකච්ඡා කර තිබේ.

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ ව්‍යාපාරික අංශය සමඟ පැවති දිගුකාලීන සබඳතාව යළි ප්‍රබෝධමත් කර ගැනීම සහ දෙරට අතර දැනට පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ඉහළ නැංවීම පිළිබදවද මෙම හමුවේදී  දෙපාර්ශවයම දැඩි අවධානයක් යොමු කර ඇතැයි ප්‍රිටෝරියාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

දකුණු අප්‍රිකානු ව්‍යාපාර, සංචාරක ව්‍යාපාර සහ ආයෝජන ප්‍රවර්‍ධනය කිරීම සඳහා, ප්‍රගතිශීලී ව්‍යාපාරික සංසදය මධ්‍යම හා පළාත් රජයන්, බහුජාතික, දේශීය හා පොදු ව්‍යාපාර, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධානය සමඟ සමීපව කටයුතු කරයි. එසේම ඔවුහු දකුණු අප්‍රිකාවේ අනෙකුත් ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල සමඟ දැඩි සබඳතා පවත්වති.

දකුණු අප්‍රිකාවේ පාලක පක්ෂය සමඟ ඔවුන්ට ඍජු සම්බන්ධතාවක් පවතින හෙයින්, ව්‍යාපාරික  වේදිකාවල දී නැඟෙන හඬ මඟින් රජයේ ප්‍රතිපත්ති තීරණ සහ නියෝග කෙරෙහි බලපෑම් කරයි. එබැවින් දකුණු අප්‍රිකාව තුළ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්‍ධනය කිරීම සඳහා විශේෂ සහයෝගයක් ලබා දෙන ලෙස මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාවේදී ද ඔවුන්ට එම සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය.

තවද, ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලවල සහයෝගය ඇතිව ව්‍යාපාර අතර මට්ටමින් සහයෝගයෙන් කටයුතු කළ හැකි අංශ පිළිබඳව අවධාරණය කෙරිණි. එහිදී කොළඹ වරායේ සැපයුම් සේවා අංශයේ මෙහෙයුම්, තොරතුරු තාක්‍ෂණය, සිවිල් ඉදිකිරීම්, පළතුරු සහ එළවළු යන කරුණු සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන අංශ වූ බවද මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Visits: 41