ඇක්සස් ඉංජිනියරිං කළමනාකාර අධ්‍යක්ෂ ජේ.සී. ජොෂුවා එහි උප සභාපති ධුරයට

ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජෝෂප් ක්‍රිස්ටෝපර් ජොෂුවා මහතා එම සමාගමෙහි විධායක උප සභාපති ධුරය සඳහා පත් කර ඇතැයි පවසයි.

ලබන අගෝස්තු 24 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම පත් කිරීම සිදුව තිබේ. මෙම නව පත් කිරීම සඳහා ඒ මහතාගේ නම යෝජනා කරන අවස්ථාවේදී ඔහු සතුව සමාගමේ කොටස් මිලියන 101ක (101,000,000ක) හිමිකාරීත්වයක් පවතින බවත් සඳහන් වෙයි. එය 10.10%ක ප්‍රතිශතයකි.

ඒ මහතා ඇක්සස් ඉංජිනියිරිං පීඑල්සී සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත් වූයේ 2013 වසරේ මැයි මාසෙය්දීය. ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධුරය සහ කළමනාකාර අධ්‍යක්ෂ ධුරය එක සමාන මට්ටමේ තනතුරු දෙකක් ලෙස ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව උප සභාපති ධුරය ලෙස නව ධුරයක් පිහිටුවමින් ජොෂුවා මහතා එම ධුරයට පත් කර තිබේ.

ජොෂුවා මහතා ඇක්සස් සමූහ සමාගම්හි ආරම්භක අධ්‍යක්ෂවරයෙකුද වෙයි. එසේම ඒ මහතා ආරම්භක කොටස් හිමිකරුවෙකුද වෙයි. ඒ මහතාගේ නායකත්වය යටතේ වඩාත් සමූහයේ සාර්ථක ව්‍යාපාර රැසක්ම ක්‍රියාත්මකව තිබේ.

විශේෂයෙන්ම ඔහුගේ නායකත්වය යටතේ 1997 වසරේ සිට ඇක්සස් ඉංජිනියරිං සිය වර්ධනයේ වඩාත් කැපී පෙනෙන සන්ධිස්ථාන රැසක්ම පසු කර තිබේ. ඔහු යටතේ පැවැති සමාගම් අතර ඇක්සස් රියැලිටීස්  (පෞද්) සමාගම, ඇක්සස් එනර්ජි (පෞද්) සමාගම, ඇක්සස් නැචුරල් වෝටර් (පෞද්) සමාගම, එකෝ ෆ්‍රෙන්ඩ්ලි පවර් ඩිවලොපර්ස් (පෞද්) සමාගම සහ ඇක්සස් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගමේ ව්‍යාපාර අංශද පවතී. මීට අමතරව ඒ මහතා සතොස මෝටර්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂමණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටය්‍රතු කර ඇත.

වර්තමානයේදී ඇක්සස් ඉංජිනියරිං පීඑල්සී සමාගමේ සභාපතිවරයා වන්නේ සුමල් පෙරේරා මහතාය. මීට අමතරව ඇන්ටන් රෝහන ප්‍රනාන්දු, ෂෙවන්ත හරින්ද්‍ර සුධාරක මෙන්ඩිස්, සෞම්‍ය දර්ශන මුණසිංහ, දිල්හාන් පෙරේරා, රංජන් ජෝන් සුරියකුමාර් ගෝමස්, මහාචාර්ය මලික් රණසිංහ,  නිරෝෂන් දක්ෂින ගුණරත්න සහ දිනේෂ් වීරක්කොඩි අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ය.

Views: 282