ඉහළ යාමට තිබූ දර්ශක අගයන් COVID-19 අවිනිශ්චිතතාවෙන් ඍණ වෙයි

අද (අගෝස්තු 10) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදී ටයිල් අංශයේ සමාගම් සහ තවත් විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම්හි කොටස් වටිනාකම් ඉතාමත් සාර්ථක ලෙස ඉහළ යාමක් පෙන්නුම් කළ බව තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් පසුව COVID-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඇති වූ අනපේක්ෂිතාව මෙන්ම සංචරණ සීමා පැනවීමේ අවස්ථාවක් ඇති වීම යනාදී කාරණා වෙළෙඳ පොළ කටයුතු මන්දගාමී කිරීමට හේතු වී තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 8,066.33ත් ඒකක 8,141.23ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,070.88ක් බවට පත්විය. එය ඊයේ (අගෝස්තු 09) දිනයට සාපේක්ෂව ඒකක 30.51ක් එනම් -0.38%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවලට අනුව සිදු වුණු කොමර්ෂල් බැංකු සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී කොටස් ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 1.8%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 60ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 127ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+8.38), ඇම්බියොන් කැපිටල් පීඑල්සී TAP (+4.3), හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී HARI (+2.88), ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී GREG (+2.42), රෝයල් සෙරමික්ස් පීඑල්සී RCL (+1.75), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-9.11), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-5.91), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.24), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-3.0), පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී PLC (-2.44යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,032.24ක අගයක් ගත් අතර, එය ඊයේ (අගෝස්තු 09දා) ‍ට සාපේක්ෂව ඒකක 6.82 ක එනම් -0.22%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.73ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (අගෝස්තු 09දා) වාර්තා කළ රුපියල් බිලියන 4.08ට සාපේක්ෂව 21.8% ක ඉහළ යාමකි. විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.58ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 20.81%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 84.82ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 43.21ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 41.61කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 35.52ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 26.10 කි. එසේම ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 6.67ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,458ක් සඳහා ප්‍රවාහන අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 31%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ පාරිභෝගික භාණ්ඩ හා ඇගලුම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 930 ක සහ රුපියල් මිලියන 574ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 241