‘ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රදර්ශනය 2021’ ප්‍රථම වරට ඔන්ලයින් ක්‍රමයෙන් පැවැත්වීමට සැලසුම්

වෙළඳ අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය  සහ බෝට්ටු නිෂ්පාදන තාක්‍ෂණ වැඩිදියුණු කිරීමේ ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ‘Boat Show Sri Lanka 2021‘ නිල වෙබ් අඩවිය (www.boatshowsrilanka.com) එළිදැක්වීම පසුගියදා වෙළද අමාත්‍ය, අචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පරිශ්‍රයේදී  09 දින සිදු වී තිබේ.

07 වැනි වරටත් පැවැත්වෙන මෙම ‘“Boat Show Sri Lanka 2021‘ ලබන ඔක්තෝබර් 25 සිට 29 දක්වා අන්තර්ජාලය හරහා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාව සදහා වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන මහත්මිය, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍ර‍ධාන විධායක සුරේෂ් ඩී ද මෙල් මහතා, අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාන්ජලී දිසානායක මෙනවිය, බෝට්ටු නිෂ්පාදන තාක්‍ෂණ වැඩිදියුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ජී .එස් ප්‍ර‍නාන්දු මහතා සහභාගී වූ අතර අනෙකුත් සියලු ම පාර්ශ්වයන් Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා, “අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලය තුළ දී රටේ විදේශ විනිමය සංචිත වැඩිකර ගැනීම සඳහා මෙම කර්මාන්තය යොදා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව, එහි තියෙන ගැටලු පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡාවක් කරන්න. මෙම ක්ෂේත්‍රය තුළ අපේ රටට විශාල විදේශීය සම්පත්, ආයෝජන සහ විදේශ විනිමය රැගෙන ඒමට ඉතා විශාල විභවයක් සහ ශක්‍යතාවයක් තිබෙන බව මම දකිනවා. ශ්‍රී ලංකාව දූපතක් නිසා සාගරය පදනම් කරගෙන විශාල වශයෙන් ආදායම් ඉපයීමේ අවස්ථා සඳහා මේ බෝට්ටු කර්මාන්තය යොදා ගන්නේ කෙසේද කියන එක පිළිබඳ අපි පුළුල් දැක්මක් සහිත වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ වගේම පුද්ගලික අංශයත්, අපනයන සංවර්ධන මණ්ඩලයත්, නාවික හමුදාවත් ආනකුත් රාජ්‍ය අංශයේ ආයතන සමග ඒකාබද්ධව මේ තියන විවිධ අයගෙ ශක්තීන් එකතු කරල බෝට්ටු නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නේ කෙසේ ද කියන එක පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කළ යුතුයි.” යනුවෙන් පවසා තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය විදේශ විනිමය උත්පාදනයේ ප්‍රමුඛ කර්මාන්තයක් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම මේ මොහොත වනවිටත් නිර්මාණය කරමින් පවතින අතර, දකුණු ආසියාවේ බෝට්ටු නිෂ්පාදන මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීම යථාර්තයක් බවට පත්කරගැන්මට අවශ්‍ය තරම් සුදුසුකම් හා යටිතල පහසුකමි ශ්‍රි ලංකාව සතුව පැවතියද ඒ සඳහා අවශ්‍ය පරිසරයක් රටතුළ නොමැති  බැවින් එම අවශ්‍යතා සපුරා ගැන්ම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය අනෙකුත් අදාළ ආයතන සමග සම්බන්ධීකරණය කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇතැයි පවසයි.

ශ්‍රී ලංකාව වසර දෙකකට වරක් සංවිධානය කරනු ලබන සිය බෝට්ටු ප්‍රදර්ශනය වන  “Boat Show Sri Lanka” බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය හා ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා අඩිතාලමක් ලබාදීමේ  අරමුණින් සංවිධානය කෙරෙයි. අද වන විට මෙය දකුණු ආසියාවේ වැඩිම අවදානයට ලක් වූ සහ විශාලත ම ජාත්‍යන්තර බෝට්ටු ප්‍රදර්ශනය ලෙස සැලකේ.

Visits: 66