මෙරටදී නිපදවූ ට්‍රැමඩෝල් සහ ලෙවොතයිරොක්සීන් ඖෂධ මුදල් ඇමති අතින් වෙළෙඳ පොළට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ඖෂධ වර්ග දෙකක් වන වේදනා නාශකයක් ලෙස භාවිතා කරන ට්‍රැමඩෝල් (Tramadol) සහ තයිරොක්සීන් ඌණතාව වෙනුවෙන් භාවිත කෙරෙන ලෙවොතයිරොක්සීන් (Levothyroxine) යන ඖෂධ වෙළෙඳ පොළට නිකුත් කිරීම පසුගියදා රත්මලානේ පිහිටි ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතින් සිදුවී තිබේ.

ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 50 කරල් මිලියන 9.8ක් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ භාවිත වන අතර, ලෙවොතයිරොක්සීන් මිලිග්‍රෑම් 50 පෙති මිලියන 98ක් පමණ වාර්ෂිකව භාවිත කෙරේ. මෙම ඖෂධ ආනයනය නතර කිරීම මගින් වාර්ෂික ඉතිරි වන මුදල රුපියල් මිලියන 88 කි.

මෙහිදී අදහස් දක්වා ඇති බැසිල් රාජපක්ෂ මහතා, මෙලෙස දේශීය නිෂ්පාදනය ඉහළ නංවමින් භාණ්ඩ ආනයනය අවම කරමින් විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරන බව පවසා තිබේ.

විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුව දේශීය නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් ආර්ථිකයක් ගොඩනැංවීමට රජය මේ වන විට කටයුතු කරමින් ඇති බවත්, එහි මූලික පියවරක් ලෙස තෝරා ගත් ආහාර ද්‍රව්‍ය 16ක ආනයනය සීමා කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා එතුළින් මේ වන විට සාර්ථක ප්‍රථිපල ළගා කර ගැනීමට හැකි වී ඇති බව ද මෙහිදී කියා තිබේ.

එසේම දේශීය ගොවියා කෙරෙහි විශ්වාසය තබමින් දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළා සේ ම ඖෂධ නිෂ්පාදනය ඇතුළු අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී වැඩිදුරටත් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඖෂධවලින් 20%ක් පමණක් මේ වන විට දේශීය වශයෙන් නිපදවන අතර එය 50% දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතයන වෙත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරි කර තිබූ බවත්, එම ණය ගෙවා දැමීමට තමාට පෙර මුදල් අමාත්‍ය ධුරය දැරූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් හෙතෙම පවසා ඇත.

ඒ අතර ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ගෙවීමට තිබූ රුපියල් මිලියන 1,945ක මුදල ද පියවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී මතක් කර දී ඇත. මෙම අවස්ථාවේදී  ඖෂධ නිෂ්පාදන සිදු කෙරෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකටද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී එක් වූ අතර මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරු ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Hits: 121