හැරී ජයවර්ධන මෙල්ස්ටාකෝර්ප් පීඑල්සීහි රු. මිලියන 730ක් වටිනා කොටස් මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමෙහි සභාපතිවරයා වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා එම සමාගමෙහි කොටස් මිලියන 14.75ක් ( කොටස් 14,750,000ක්) මිලදී ගැනීමක් සිදු කර ඇතැයි පවසයි.

පසුගිය අගෝස්තු 06 වැනිදා මෙම මිලදී ගැනීම සිදුව තිබේ. මෙහිදී කොටසක් රුපියල් 49.50ක් ලෙස මෙම ගනුදෙනුව සිදු කර ඇති අතර, එහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 730ක් (730,125,000ක්) ලෙස සටහන්ව තිබේ.

මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම මගින් නිකුත් කරන ලද 2019/20 වාර්ෂික මූල්‍ය වාර්තාව තුළ සඳහන් ආකාරයට 2020 මාර්තු 31 වැනිදා වනවිට හැරී ජයවර්ධන මහතා සතුව එම සමාගමේ කිසිදු කොටස් හිමිකාරීත්වයක් තිබී නැත.

එසේම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් සතුවද එම දිනය වනවිට සමාගමේ කොටස් හිමිකාරීත්වයක් නොමැති අතර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන ඔහුගේ පුත් දොන් හසිත එස්. ජයවර්ධන මහතා සතුව පමණක් කොටස් 7,531,332ක හිමිකාරීත්වයක් පැවතුණි.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 50.30ක් ලෙස සටහන්ව තිබුණි.

Visits: 999