“ටයිල් මිල ඉහළ නංවා ඇත්තේ අලෙවි නියෝජිතයන් සහ වෙළෙඳ සැල් හිමිකරුවන්” – නිෂ්පාදකයන් පවසයි

මෙරට දේශීය ටයිල් නිෂ්පාදන සමාගම් ටයිල් මිල වැඩි කර නොමැති බවත්, එම සමාගම්වලින් නිෂ්පාදන මිලදී ගන්නා අලෙවි නියෝජිතයන් සහ වෙළෙඳ සැල් හිමිකරුවන් තම අභිමතය පරිදි විවිධ මිල ගණන්වලට ඒවා අලෙවි කිරීම හේතුවෙන් රට තුළ ටයිල් මිල ඉහළ ගොස් තිබෙන බවත් ටයිල් නිෂ්පාදන සමාගම් පවසයි.

මේ දිනවල වෙළෙඳපොළේ ටයිල් මිල සීඝ්‍ර ලෙස ඉහළයාමකට ලක් වී තිබීම සම්බන්ධයෙන් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමුවේ කරුණු දැක්වීමක් සිදු කරමින් මෙම දේශීය ටයිල් නිෂ්පාදකයින් එම කරුණු පැවසූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහිදී මෙරට මුල් පෙළේ ටයිල් නිෂ්පාදන සමාගම් වන Mack Tiles, Lanka Tiles සහ Rocell යන ටයිල් නිෂ්පාදන සමාගම් වල නියෝජිතයින් මෙම හමුව සඳහා කැඳවා තිබූ බවත්, එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවක නිරත වූ බවත් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

“එම සමාගම්වල අදහස වූයේ සමාගම් විසින් ටයිල් මිල වැඩි කර නොමැති බවත්, එම සමාගම් වලින් මිලදී ගන්නා අලෙවි නියෝජිතයින් සහ වෙළෙඳසැල් තම අභිමතය පරිදි මිල ගණන් වලට අලෙවි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවත්ය.” යනුවෙන් එම රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස පළමු වැනිදා (2021.09.01) සිට එකඟවන ලද මිල අදාළ ටයිල් බහාලුමේ සලකුණු කිරීමටද එම සමාගම් මෙහිදී තීරණයකට පිවිස ඇතැයිද පැවසෙයි.

මෙම සාකච්ඡාව සඳහා සඳහා සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුලු නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමා ඇතුලු නිලධාරීන් සහ දේශීය ටයිල් නිෂ්පාදකයින් සහභාගී වී තිබේ.

Views: 1219