බටහිර පර්යන්තය ඉදිකිරීමේදී අදානි සමූහයට සහ ජෝන් කීල්ස් වෙත වසර 25ක බදු විරාමයක්

කොළඹ වරායෙහි බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ආයෝජකයන් වන ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට සහ එහි දේශීය හවුල්කරුවා වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම් වෙත වසර 25ක බදු විරාමයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මෙම කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකිරිම-මෙහෙයුම් සිදු කිරිම සහ යළි හුවමාරුව යන එකඟතාව යටතේ වසර 35ක කාලයක බදු පදනමක් යටතේ අදාළ සමාගම් වෙත ලබා දීම සිදුව තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියත් මෙහි කොටස්කරුවෙකි. මෙම සමාගම් තුන එක්ව මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් පෞද්ගලික සමාගම ලෙස නව සමාගමක්ද පිහිටුවා ඇත.

දිගින් මීටර් 1400ක් සහ ගැඹුරින් මීටර් 20ක් වන ලෙස මෙම නව බටහිර බහාලුම් පර්යන්තය ඉදිකිරිම සැකසුම වී තිබේ. මෙහිදී මේ සඳහා වන සමස්ත පිරිවැය එක්සත් ජනපද ඩොලර් මිලියන 650ක් ලෙස ගණන් බලා ඇත.

දැනට සිදු කර ඇති අනාවරණයන්ට අනුව මෙම වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් පෞද්ගලික සමාගමේ කොටස් හිමිකමෙන් 51%ක් ඉන්දියාවේ අදානි සමූහයටත්, 35%ක් ජෝන් කීල්ස් සමූහයටත් හිමිය. එසේම 15%ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටයි.

මෙලෙස අදාළ සමාගම වෙත මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වසර 25ක බදු විරාමයක් ලබා ගැනීමට නම් එම ව්‍යාපෘතිය වසර පහක් තුළදී මෙහෙයුම් සිදු කිරීම සඳහා වැඩ අවසන් වී පැවතිය යුතුව ඇතැයි මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන CeylonToday පුවත්පත පවසයි.

ඒ අනුව රජය ඉදිරිපත් කර ඇති මෙම නව එකඟතාව යටතේ ව්‍යාපෘති සමාගම මගින් පළමු මාස 36දී මීටර් 600ක දිගකින් යුතුව විශේෂිත පර්යන්ත ප්‍රදේශයක්ද ඇතුළුව මෙහෙයුම් ආරම්භ කිරිම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සකස් කළ යුතුව ඇත. එසේම ඉතිරි මීටර් 800ක දිගකින් යුත් පර්යන්තය ඉදිරි මාස 48 ඇතුළතදී සම්පූර්ණ කළ යුතුව තිබේ.

මෙහිදී ව්‍යාපෘති සමාගම විසින් සිදුකරන සාර්ථක කටයුතු නිමාවත් සමගින්ම සමාගම ලාබ ලබන පළමු වසරේ සිට හෝ සිය වානිජ මෙහෙයුම් ආරම්භ කර වසර දෙකකට පසුව හෝ මෙලෙස වසර 25ක බදු විරාමයක් ලබා දීම ආරම්භ කෙරෙන බවත් සඳහන් වෙයි.

මීට අමතරව සමාගම මගින් බෙදාහරින ලාභාංශ සහ උපයන ලාභය අනුව කොටස්හිමිකරුවන් වෙත හිමි මුදල් යනාදිය, මෙම වසර 25ක බදු විරාම කාලය තුළදී සහ එතැන් සිට තවත් අමතර වසරක් සඳහා ආදායම් බදුවලින් නිදහස් කිරීමක්ද සිදුවන බවද පුවත්පත පවසයි.

මීට අමතරව ව්‍යාපෘති සමාගම් මගින් සිය ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ලබා ගන්නා විදේශ ණය මුදල් වෙනුවෙන් වන පොලී මත සහ ව්‍යාපෘතියේ උපදේශකයන් වෙත ගෙවනු ලබන තාක්ෂණික ගෙවීම් සඳහා රඳවා තබා ගැනීමේ බද්දක් අය නොකිරීමටත් කටයුතු යෙදී තිබේ. අදාළ ව්‍යාපෘති සමාගම තුළ සිටින ප්‍රවාසික සේවකයන් 20 දෙනෙකු සඳහා වසර පහක් යන තුරුම ඔවුන්ගේ වැටුප් සඳහා ආදායම් බදු අය කිරීමකින් නිදහස් කිරීමත් සිදු වනු ඇතැයි පැවසෙයි.

මේ අතර, ව්‍යාපෘතියට අදාළව සිදුකරන සියලුම ආනයනයන් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුවිය යුතුව ඇති අතර, ඒවා සියල්ල අදාළ ව්‍යාපෘති ගිවිසුම අත්සන් කර වසර පහක් යන තුරුම වැට් බද්දෙන්, වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්දෙන්, සෙස් බද්දෙන් මෙන්ම ආනයන බද්දෙන්ද නිදහස් වන බවත් CeylonToday පුවත්පත වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 292