ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් හි තීන්ත හා ආලේපන ව්‍යාපාරය එහි CEO විසින්ම මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙහි තීන්ත හා ආලේපන ව්‍යාපාරය එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන කේ. නවීන්කාන්ත් මහතා විසින් මිලදී ගෙන ඇතැයි එම සමාගම පවසයි.

අද (ජූලි 30දා) මෙම ගනුදෙනුව සිදුව තිබේ. ඒ අනුව මෙය  ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙහි සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවක් ලෙසද සඳහන්ව ඇත.

පසුගිය ජූලි 19 වැනිදා සාංගමික අනාවරණයක් සිදු කළ ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම සිය තීන්ත හා ආලේපන නිෂ්පාදන ව්‍යාපාරය අත්හැර දැමීමට තීරණය කරතිබෙන බව පවසා තිබුණි.

එම ව්‍යාපාර අංශය හරහා සිය ව්‍යාපාරය වෙත වසර කිහිපයක් පුරා කිසිදු ලාභයක් නොලැබීමත්, අනාගතයේදීද ඉන් ලාභ ඉපැයීමක් බලාපොරොත්තු නොවීමත් ඊට හේතු බව සමාගම විසින් කරුණු දක්වා තිබුණි.

ඒ අනුව මෙහිදී රුපියල් මිලියන 15ක මුදලකට එම තීන්ත සහ ආලේපන ව්‍යාපාරය සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ. නවීන්කාන්තන් මහතා වෙත අලෙවි කිරීමට තීරණය කළ බව සමාගම පවසයි.

එසේම මෙම වටිනාකම් තක්සේරු කිරීම සුපුසිද්ධ විගණන ආයතනයක් වන KPMG සමාගම මගින් ස්වාධීනව සිදුකළ බවත් සඳහන් වෙයි.

මේ අතර සබැඳි පාර්ශ්වයන් අතර සිදුවන ගනුදෙනුවක් ලෙස වූ මෙම අත්හැරීම සහ මිලදී ගැනීම සාමාන්‍ය වාණිජමය නියමයන් අනුව සිදුව ඇති නිසා ඉන් සමාගමෙහි කොටස් වෙත හෝ එහි සුළුතර කොටස්හිමිකරුවන් වෙත හෝ බලපෑමක් සිදු නොවන බවද  ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.

මෙලෙස ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆල්ට්ස් (සිලෝන්) පීඑල්සී සමාගමෙහි තීන්ත සහ ආලේපන ව්‍යාපාරය මිලදී ගත් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ. නවීන්කාන්තන් මහතා සතුව 2020 මාර්තු 31 වැනිදා වනවිට එම සමාගමෙහි කොටස් අතරින් 2,669ක කොටස් හිමිකාරීත්වයක් පැවති බවත් සඳහන් වෙයි. ඒ මහතා එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සම්බන්ධවී ඇත්තේ 2018 වසරේ අගෝස්තු මාසයේදීය.

Views: 301