නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමගින් ආයතනික සහයෝගීතාවකට එළැඹෙයි

ශ්‍රී ලංකා පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමගින් පසුගියදා ගිවිසුමකට එළැඹෙමින් එම සංගමයේ සමාජික නීති වෘත්තිකයින් සඳහා නවලෝක රෝහල් සමූහය මගින් පිරිනමනු ලබන ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවා සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දුන් බව පවසයි.

ජූලි 26 වන දින ශ්‍රී ලංකා නීතීඥ සංගම් පරිශ්‍රයේදී නවලෝක රෝහල් සමූහය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් මෙම ගිවිසුමට එළැඹිණ. කෝවිඩ් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සමාජ දුරස්තභාවය පවත්වා ගනිමින් මෙම අවස්ථාව සංවිධානය කෙරිණ. 

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමග සහයෝගීතා ගිවිසුමකට එළැඹෙමින් මෙරට නීති වෘත්තික ප්‍රජාව සඳහා ඉහළ විවිධත්වයකින් යුතු ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවාවන් ලබා දීමට හැකි වීම අප ලද ගෞරවයක් ලෙස සලකනවා. මෙම සහයෝගීතාව සමග මෙරට නීති වෘත්තිකයින්ට අපගේ ඉහළ අත්දැකීම් සහිත වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය සුවසේවා සහකරු ලෙස නවලෝක රෝහල් සමූහය තෝරා ගැනීම තුළ පුද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ නවලෝක රෝහල් සමූහය සතු නායකත්වය සහ සමාජ පිළිගැනීම තවදුරටත් තහවුරු වන අතර කාලානුරූපිව වෙනස්වන සුව සේවා ක්ෂෙත්‍රයේ ඉදිරියෙන්ම සිටින රෝහල් සමූහය බවට නිසැකවම පැවසිය හැකියි’’ යනුවෙන් මෙම අවස්තාවට එක් වූ නවලෝක රෝහල් සමූහයේ නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවසීය.

මෙම සහයෝගීතාව යටතේ ශ්‍රී ලංකා නීතිඥ සංගම් සාමාජිකයින් වෙත විශේෂිත ප්ලැටිනම් සාමාජික කාඩ්පතක් හිමි වන අතර මෙම කාඩ්පත භාවිතා කරමින් එම සාමාජිකයින්ට නවලෝක රෝහල මගින් ලබා දෙන වෛද්‍ය සහ රෝහල් සේවා වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබේ. මෙම පහසුකම් අතර ශල්‍යකර්ම සඳහා වට්ටම් හිමිවීම, රෝහල් කාමර වෙන් කරවා ගැනීම, බාහිර රෝගී චැනලින් සේවා, වෛද්‍ය රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සේවා, රෝහල් මගින් පවත්වාගෙන යනු ලබන කෝවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමේ පහසුව, සුවතා පරීක්ෂණ පැකේජ, මෙන්ම නවලෝක විශේෂඥ රෝහල් සේවා මධ්‍යස්තාන මගින් ලබා දෙන සේවා සහ ගිලන් රථ සේවාවන් ද ඇතුළුව 20% දක්වා වට්ටම් මෙන්ම ඇතැම් සේවා නොමිලේ මෙම සාමාජික කාඩ්පතට හරහා ලබා ගත හැක.

මීට අමතරව සියලු සාමාජිකයින්ට පුද්ගලිකවම ඔවුන්ගේ සුවසේවා අවශ්‍යතා සොයා බැලීම සඳහා පාරිභෝගික සේවා නිලධාරියකුගේ සහාය හිමිවන අතර ප්ලැටිනම් සාමාජිකයින් සඳහා වෙන් ව ඇති platinum member lounge වෙත පිවිසීමේ හැකියාව ලැබේ.එමෙන්ම චැනලින් සේවා ලබා ගැනීමේදී ප්‍රමුඛත්වය ලබාදීම, Audio/video වෛද්‍ය උපදේශන සේවා, වෛද්‍ය වාර්තා පවත්වාගෙන යෑ‌මේ පහසුකම්, සුඛෝපභෝගී කාමර ලබා ගැනීමේ පහසුකම, ඇතැම් වෛද්‍ය වාර්තා නොමිලේ ලබා ගැනීමේ පහසුකම සහ නිර්දේශීත ඖෂධ නිවසටම ගෙන්වා ගැනිම මෙන්ම Nawaloka mobile app පහසුකම් මෙම සාමාජික කාඩ්පතට ලබා දෙන පහසුකම් අතර පවතී. තවද මෙම සියලු වරප්‍රසාද නවලෝක කොළඹ රෝහල , මීගමුව නවලෝක රෝහල සහ නවලෝක රෝහල් ජාලයට අයත් සෙසු මධ්‍යස්ථාන වලින්ද ලබා ගත හැක.

‘’ කෝවිඩ් 19 වසංගතය සමග මනා සෞඛ්‍යක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව අන් කවර කාලයකටත් වඩා වැදගත් අත්‍යාවශ්‍ය සාධකයක් බව අප සියලු දෙනාටම පෙන්වා දී තිබෙනවා. මෙම අභියෝගාත්මක තත්වය තුළ අපගේ  සාමාජිකයින්ට ජාත්‍යන්තර මට්ටමේ සුව සේවාවක් ලබා දීම සඳහා මෙරට පුරෝගාමී පුද්ගලික රෝහල් සමූහය වන නවලෝක රෝහල් සමූහය සමග සහයෝගීතාවකට එළැඹීමට හැකි වීම අප ලද සුවිශේෂී වරප්‍රසාදයක් ලෙස සැලකිය හැකි අතර මෙය අපගේ සාමාජිකයින්ගේ සුවපත් බව වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගනු ලැබූ ප්‍රශස්ත පියවරක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකියි” යනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසීය.

Visits: 43