ඉන්දියාවේ විශ්‍රාම අරමුදල් වෙත IPO හිත් ආයෝජනය කිරීමේ අවස්ථාව

ඉන්දියාවේ ක්‍රියාත්මක විශ්‍රාම අරමුදල් වෙත එරට කොටස් හුවමාරුව තුළ සිදු කරන මූලික මහජන කොටස් නිකුතූන් (IPO) සඳහා මෙන්ම තෝරාගත් ලැයිස්තුගත සමාගම් තුළ ආයෝජනය කිරීමට ඉදිරියේදී අවස්ථාව ලබා දීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

එරට විශ්‍රාම අරමුදල් නියාමනය සහ සංවර්ධන අධිකාරියේ (PFRDA)  සභාපති සුප්‍රාතිම් බාන්දියෝපාද්යායි විසින් පසුගියදා මාධ්‍ය වෙත මෙම කරුණු අනාවරණය කර තිබේ.

ඒ අනුව තෝරාගත් ලැයිස්තුගත මුල් පෙළේ සමාගම් 200ක් තුළ ආයෝජනය සඳහා මෙම විශ්‍රාම අරමුදල් කළමනාකරුවන්ට අවස්ථාව සැලසෙන බව ඔහු පවසා තිබේ. එසේම මූලික මහජන කොටස් නිකුතූන් සඳහාද ආයෝජනයට මින් අවස්ථාව හිමි වන බව පැවසෙයි.

මෙතෙක් කලක් එම විශ්‍රාම අරමුදල් වෙත අවස්ථාව ලබා දී තිබුණේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනය ඉන්දියානු රුපියල් කෝටි 5,000කට වැඩි සමාගම් තුළ පමණකි.

ඒ අනුව ඉදිරියේදී මිලදී ගැනීම සඳහා සුදුසු මූලික මහජන කොටස් නිකුතූන් සහ ඒහා සමාන ප්‍රාථමික නිකුතූන් සම්බන්ධයෙන් නියමිත ක්‍රමවේදයක් සකස් කරන බවද ප්‍රධානියා පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඔහු, මෙලෙස මූලික මහජන කොටස් නිකුතූන් සඳහා ආයෝජනයට අවස්ථාව හිමි වීම මූලික අදියරේදීම එම සමාගම් වෙත මුදල් යොදවීමට ලැබෙන හොඳ අවස්ථාවක් බව පවසා තිබේ.

“විශ්‍රාම අරමුදල් වෙත ඉතාමත් හොඳ මූලික මහජන කොටස් නිකුතූන් වෙත ආයෝජනය කිරීමේ අවස්ථාව මඟහැරී තිබුණා. අද වනවිට ඉතාමත් හොඳ සමාගම් ලැයිස්තුගතවීම සඳහා ඉදිරිපත් වෙනවා.” යනුවෙන් ඔහු ඉන්දියාවේ බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත වෙත සඳහන් කර ඇත.

Views: 268