හේලීස් ෆැබ්රික් පීඑල්සී මෙරට විශාලතම වහල මත පිහිටි සූර්ය පැනල පද්ධතිය ස්ථාපිත කරයි

හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම මෙරට පෞද්ගලික හිමිකම සහිත වහල මත පිහිටි විශාලතම සූර්ය පැනල පද්ධතිය ස්ථාපිත කර ඇතැයි පවසයි.

ඒ අනුව මේ හරහා වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතිය වෙත කිලෝවොට්පැය 6,241,500ක විදුලි ධාරිතාවක දායකත්වයක් ලබා දෙන අතර, මේ හරහා හේලීස් ෆැබ්රික් සමාගම කාබන් පියසටහන 15%%කින් තවදුරටත් අවම කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් පවසයි.

හේලීස් සමූහයට අයත් Hayleys Fentons සමාගම මගින් මෙම දැවැන්ත සූර්ය පැනල ව්‍යාපෘතිය සිදු කර තිබේ. එහිදී හොරණ පිහිටි හේලීස් ෆැබ්රික් ආයතනයේ ප්‍රධානම නිෂ්පාදන කර්මාන්තශාලාවේ වහල මත මෙම සූර්ය පැනල ස්ථාපිත කිරීම සිදු කර ඇත.

විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ අනාගත කාබන් විමෝචනය අඩු කිරීමේ එකඟතාව වෙත දායකවීමක් ලෙස සමාගම මගින් මෙලෙස දැවැන්ත සූර්ය පැනල පද්ධතියක් සිය කර්මාන්තශාලාව වෙත සවි කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා, “අපගේ මෙම දැවැන්ත කර්මාන්තශාලා පරිශ්‍රය තුළ ශ්‍රී ලංකාවේ විශාලතම වහල මත සවි කළ සූර්ය පැනල ව්‍යාපෘතිය සිදු කිරීම අපගේ ව්‍යාපාර ආදර්ශය යටතේ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී තිරසාර මාවතක් වෙත යොමු වීම සඳහා වන අපගේ දායකත්වය සහතික කරන්නක්. මෙය අපගේ සියලුම හවුල්කරුවන් වෙත එක සමාන ජයග්‍රහණ උදා කර දෙනවා. ඒ වගේම එය අපගේ ලාභය ඉහළ නැංවීමටත් දායක වේවි.” යනුවෙන් පවසා ඇත.

මෙහිදී හොරණ පිහිටි සමාගමේ ප්‍රධානතම කර්මාන්තශාලා පරිශ්‍රයේ වහලය මත වර්ග මීටර් 18,000ක අවකාශයක් පුරා සූර්ය පැනල 9,000ක් ස්ථාපිත කිරීම සිදුව තිබේ. 2021 ජූනි මාසයේ සිට මේ හරහා ජාතික විදුලිබල පද්ධතිය වෙත මෙගාවොට් 4.5ක විදුලි ධාරිතාවක දායකත්වයක් ලබා දෙයි.

හේලීස් සමූහයට අයත් මෙරට ප්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම රෙදිපිලි නිර්මාණය කිරීමේ සිට නිෂ්පාදනය දක්වා කටයුතු සිදු කරයි. එසේම 2003 වසරේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වූ අතර, ඇගලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි ලැයිස්තුගත පළමු සමාගම වන්නේද එම සමාගමයි.

අද වන විට මාසයකට රෙදි මීටර් මිලියන 2.5ක නිෂ්පාදන ධාරිකාවක් හේලීස් ෆැබ්රික් සතුය. එහිදී ලෝකයේ සුප්‍රසිද්ධ විලාසිතා සන්නාම, ඇගලුම් සහ අනෙකුත් වෙළෙඳ නාම යනාදියේද මුල් පෙළේ හවුල්කරුවෙකු ලෙසද එම සමාගම කටයුතු කරයි.

Visits: 431