ටවර් හෝල් රඟහල පදනමේ රංග ශාලා අගෝස්තු 31වැනිදා සිට නාට්‍යකරුවන්ට සහනදායී මුදලකට

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අඩපණව තිබූ රංග කලා කටයුතු ප්‍රවර්ධනය කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනමට අයත් රංග ශාලා අගෝස්තු මස 31 වැනිදා සිට ඉතා සුළු මුදලකට වේදිකා නාට්‍ය සඳහා ලබා දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (15) දින උපදෙස් ලබා දී තිබේ.

ටවර් හෝල් රඟහල පදනමේ 297 වැනි භාරකාර මණ්ඩල රැස්වීම අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ ටවර් හෝල් රඟහල පදනමේ ගරු සභාපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ලබන අගෝස්තු මස 31 වැනිදා සිට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සහනදායී මුදලකට ටවර් රඟහල, එල්ෆින්ස්ටන් රඟහල සහ රුක්මණීදේවි රඟහල නාට්‍යකරුවන්ට පිරිනැමෙනු ඇත.

මරදාන එල්ෆින්ස්ටන් රඟහලට යාබද සරසවිපාය ගොඩනැගිල්ල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලැබෙන පරිදි මහල් අටකින් යුතු බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී දැනුම් දී තිබේ.

දැනට ටවර් හෝල් රඟහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රේක්‍ෂා රක්ෂණාවරණය 2022 වසරේ සිට නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලි නාට්‍යකරුවන් වැඩි පිරිසක් ආවරණය වන පරිදි සකස් කරන්නැයි ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කර තිබේ.

මෙම අවස්ථාවට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමිය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කේ.ඒ.ඩී.ආර් නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් පදනමේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.එච්.එච් කිරිඇල්ල, පාලන හා සංවර්ධන අධ්‍යක්ෂ නිපුන දිසානායක, නාට්‍ය ප්‍රවර්ධන, අධ්‍යාපන හා වැඩසටහන් අධ්‍යක්ෂ සම්පත් පෙරේරා, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, හෂීම් ඕමාර්, පී.ආර් පෙරේරා (කලාකරු නියෝජනය), කුලෝජා පීරිස් (මහා භාණ්ඩාගාර නියෝජනය) නාගරික ලේකම් රෝෂිණී දිසානායක මහත්ම මහත්මීන් ඇතුළු ටවර් හෝල් පදනමේ නිලධාරීන් පිරිසක් එක්ව සිට ඇත.

Views: 50