PGP Glass පෞද්. සමාගම පිරාමාල් ග්ලාස් සිලෝන් සතුවූ සියලු කොටස් අත්පත් කරගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී ඡන්ද හිමි කොටස් 210,904,751ක් එනම් 20.22%ක ප්‍රතිශතයක් පසුගිය ජූලි 13 වැනිදා PGP Glass පෞද්ගලික සමාගම වෙත හුවමාරු කෙරුණු බව පිරාමාල් ග්ලාස් සිලෝන් සමාගම පවසයි.

පසුගිය මාර්තු මාසයේ 30 වැනිදා  PGP Glass පෞද්ගලික සමාගම පිරාමාල් ග්ලාස් සිලෝන් සමාගම අත්පත් කරගැනීමේ තවත් අවස්ථාවක් ලෙස මෙය සිදුව තිබෙන බව එම සමාගම පවසයි.

මෙහිදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් භාව විසින් මෙම කොටස් හුවමාරුව සඳහා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව මෙම කොටස් හුවමාරුව සිදු වුණු බවත් පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සි සඳහන් කරයි.

පසුගිය මාර්තු මාසයේදී සිදුවුණු මෙම ගනුදෙනුවේදී PGP Glass පෞද්ගලික සමාගම මගින් පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගමේ කොටස් 536,331,880ක් එනම් 56.45%ක ඡන්ද හිමි කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීම සිදු විය.

ඒ අනුව පසුගිය 13 වැනිදා සිදු වුණු ඉහත සඳහන් කළ මෙම කොටස් 210,904,751ක මිලදී ගැනීමත් සමගින්ම PGP Glass පෞද්ගලික සමාගම සතු පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී කොටස් ප්‍රමාණය 747,236,651ක් බවට පත්ව ඇති අතර එය 78.65%ක ප්‍රතිශතයක් බවත් එය සමාගම තුළ පිරාමාල් ග්ලාසි පීඑල්සී සතුව තිබූ සමස්ත කොටස් හිමිකාරීත්වය බවත් සඳහන් වෙයි.

Views: 510