ජපානය AstraZeneca එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ලංකාවට දීමට සූදානම්ලු

AstraZeneca එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපාන රජය තීරණය කර ඇතැයි කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය පවසයි. ඉදිරි සති කිහිපය තුළ මෙම එන්නත් මෙරටට ලැබීමට නියමිතව තිබේ.

COVAX පහසුකම යටතේ ජපානය විසින් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට සැලසුම් කර ඇත. මෙම එන්නත් ජපානය තුළ නිෂ්පාදනය කළ ඒවා බවද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට සහායදීමක් ලෙස මෙම එන්නත් ලබා දීම සිදු කරන බවත් ජපාන තානාපති කාර්යාලය පවසයි.

එසේම මෙම එන්නත් ලබාදීම ශ්‍රී ලංකා රජය විසින් සිදුකරන ලද ඉල්ලීමකට දක්වන ප්‍රතිචාරයක් ලෙස සිදු කරන බවත්, වසංගතයට එරෙහි සටනේදී හැකි ආකාරයෙන් බොහෝ පිරිසකට වඩාත් ආරක්ෂිත සහ බලපෑම් සහගත එන්නත් ලබා ගැනීමේ හැකියාව එක සමාන ලෙස සුරක්ෂිත කිරීමේ ජපාන සහයෝගයේ අවස්ථාවක් ලෙසත් මෙම තීරණය ගත් බවත්

මේ අතර, COVID-19 වසංගතයට එරෙහි ශ්‍රී ලංකාව  ගෙනයන සටන සඳහා ජපානය මේ දක්වා එක්සත් ජනපද ඩොලර් මිලියන 16.2කින් සහයෝගය දක්වා ඇති බවත් තානාපති කාර්යාලය පවසයි.

එසේම රට පුරාම එන්නත් එක සමානව බෙදා හැරීම සුරක්ෂිත කිරිම සඳහා COVAX පහසුකම යටතේ තවත් එක්සත් ජනපද ඩොලර් බිලියනයක ආධාරයක් සිදු කිරීමටද ජපාන රජය පොරොන්දු වී ඇති බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Views: 113