“2020 ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායමට තරු පහේ පහසුකම්” – ඇමති නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 ගිම්හාන ඔලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දිරිමත් කිරීම ජාතික වගකීමක් ලෙස සලකා ඔවුන්ට සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුඛෝපභෝගි පහසුකම් සමගින් නවාතැන් සපයන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී  අනාවරණය කළේය.

ඒ අනුව, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායකයන් නිර්දේශ කර ඇති සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන කණ්ඩායම සඳහා ජපානයේ ටෝකියෝ නුවර  ‘‘ෆ‘‘ තරු පහේ හෝටලයේ සම්පූර්ණ මහලක සියලු පහසුකම් ද සමගින් නවාතැන් ලබාදීමට කටයුතු සූදානම් කර ඇතැයි පවසයි.

එළඹෙන ජූලි මස 23 වනදා ඇරඹීමට නියමිත 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, අශ්වාරෝහක, ජිම්නාස්ටික්, ජූඩෝ, වෙඩි තැබීම සහ පිහිනුම් යන ඉසව් වලින් පිරිමි ක්‍රීඩකයන් 04 දෙනෙකුත් කාන්තා ක්‍රීඩිකාවන් 05 දෙනෙකුත් ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්  09 දෙනෙකු සහ පුහුණුකරුවන් ද ඇතුළුව නිලධාරීන් 17 දෙනෙකු සහභාගී වීමට නියමිතව ඇත.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ජාත්‍යන්තර ජයග්‍රහණ වෙනුවෙන් ලොවක් ඉදිරියේ රටක් නියෝජනය කරන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විශ්වාසය සහ ධනාත්මකභාවය ඉහළ නැංවීමටත්  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කායික හා මානසික යෝග්‍යතාව යහපත්ව පවත්වාගෙන යාමටත්පූර්ණ වගකීමෙන් යුතුව උපරිම පහසුකම් සැලසීම ජාතික වගකීමක් වන නිසා ඒ වෙනුවෙන් අපි කැපවී කටයුතු කරනවා.

ඒ වගේම මෙවර ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනාට  සුඛෝපභෝගි පහසුකම් සහිත ව්‍යාපාරික පන්තියේ (Business Class) ගුවන් ප්‍රවේශපත් ලබාදීමට ද අපි කටයුතු කරනවා.” යනුවෙන් පවසා තිබේ.

එසේම මෙවර 2020 ඔලිම්පික් කණ්ඩායමට නවාතැන් පහසුකම් සඳහා අනුග්‍රහය දක්වමින් ක්‍රීඩාවේ දියුණුව සඳහා දේශීය සමාගම් වෙතින් ලබාදෙන සහයෝගය වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් වූ සිනමන් ලයිෆ් ශ්‍රී ලංකා (Cinnamon Life Sri Lanka) සමාගම අමාත්‍යවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කර තිබේ.

Visits: 75