OPPO මෙවර CVPR හිදී සම්මාන 11 කින් පිදුම් ලබයි

ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන OPPO, 2021 Computer Vision and Pattern Recognition Conference (CVPR) සම්මාන උළෙලේ ප්‍රධාන අභියෝග 6 කදී සම්මාන 11 ක් හිමිකර ගැනීමට සමත් වූ බව පවසයි.

ප්‍රථම ස්ථාන 1 ක්, දෙවන ස්ථාන 6 ක් සහ තුන්වන ස්ථාන 4 ක් මීට ඇතුළත් වී තිබේ. මෙම සම්මාන, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සම්බන්ධයෙන් OPPO සතු දියුණු තාක්ෂණය හා හැකියාවන් සම්බන්ධ මනා සාක්ෂියක් ලෙස පෙන්වා දිය හැකි අතර Multi-Agent Behavior, SoccerNet, LOVEU, AVA-Kinetics, MMact, සහ People in Context යන අභියෝග 6 සඳහා OPPO තරග වැදුණි.

“අප මුලින්ම CVPR වැඩසටහනට සහභාගී විඉයේ 2020 වසරේදී. එහිදී අප Perceptual Extreme Super-Resolution Challenge හි ප්‍රථම ස්ථානය දිනාගත්තා. මේ වසරේ අපට සම්මාන 11 ක් හිමිකර ගැනීමට හැකිවී තිබෙනවා. එය අපට විශාල සතුටක්.” OPPO සමාගමේ ප්‍රධාන විද්‍යාඥ (Intelligent Perception) එරික් ගුවෝ මහතා පැවසී ය.

මෙම සම්මාන 11 අතරින් 3 ක් Multi-Agent Behavior Challenge කාණ්ඩය සඳහා හිමි විය. සතුන් සහ මිනිසුන් වැනි බුද්ධිමත් ජීවයන් අතර සංකීර්ණ අන්‍යොන්‍ය ක්‍රියාකාරකම් අවබෝධ කරගැනීම, අර්ථ දැක්වීම සහ පුරෝකථනය කිරීම සඳහා AI ආකෘතියට ඇති හැකියාව මෙමගින් පරීක්ෂාවට ලක්කෙරිණි. මෙහිදී Learning New Behavior කාණ්ඩයේ ප්‍රථම ස්ථානයත්, Classical Classification කාණ්ඩයේ දෙවන ස්ථානයත්, Annotation Style Transfer කාණ්ඩයේ තුන්වන ස්ථානයත් OPPO වෙත හිමි විය.

‘3D Face Reconstruction from Multiple 2D Images Challenge’ තුළදී OPPO විසින්ම නිර්මාණය කරන ලද AI algorithm මගින් ආසන්න මිලිමීටර් 1 දක්වා නිවැරදි ත්‍රිමාණ මුහුණු හැඩතල ප්‍රතිනිර්මාණයන් සිදුකිරීමට හැකි වූ අතර, ඒ වෙනුවෙන් ප්‍රධාන ලකුණු දර්ශකය තුළ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට OPPO කණ්ඩායමට හැකියාව ලැබිණි.

SoccerNet Challenge තුළදී Action Spotting සහ Replay Grounding යන අංශ දෙක සඳහාම දෙවැනි ස්ථානයන් OPPO වෙත හිමි විය. මෙම අභියෝගයේ අරමුණ වූයේ පාපන්දු ක්‍රීඩා වීඩියෝවක ප්‍රධාන ක්‍රියාකාරකම් 12 කට වඩා හඳුනා ගැනීමට algorithm වලට ඇති හැකියාවන් ඇගයීමට ලක්කිරීමයි. තරග නීතිරීති වල සංකීර්ණතාවන් සහ ඒවා අර්ථකථනය කෙරෙන ආකාරයන් සම්බන්ධ ගැටලු නිසා සාමාන්‍යයෙන් මිනිසුන්ට හඳුනා ගැනීම අපහසු වන Offside සහRed card violations ආදිය හඳුනා ගැනීමද මීට ඇතුළත් විය.

MMact Challenge තුළදී Cross-Modal Action Recognition සහ Cross-Model Action Temporal Localization යන අංශ දෙකේම දෙවැනි ස්ථාන OPPO විසින් දිනාගන්නා ලදි. OPPO හි බලවත් AI algorithm මගින් හුදෙක් දෘශ්‍ය දත්ත පමණක් භාවිතා කරමින් වීඩියෝවක ඇතුළත් කතා කිරීම, හිඳගෙන සිටීම සහ ඇවිදීම ඇතුළු ප්‍රධාන ක්‍රියාකාරකම් 10 කට වඩාහඳුනා ගනී. ඉදිරියේදී මෙම තාක්ෂණය smart homes තාක්ෂණයන් සඳහා බහුලව භාවිතා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය නිවසක සිටින දරුවන් සහ වියපත් පුද්ගලයන් වැනි අයගේ මෙන්ම සුරතල් සතුන්ගේද ආරක්ෂාව තහවුරු කිරීමට වැදගත් වනු ඇත.

මීට අමතරව AVA-Kinetics Challenge හිදී තුන්වැනි ස්ථානය හිමිකර ගැනීමට OPPO සමත් විය. මෙය ක්ෂේත්‍රයේ ප්‍රථම වරට කාලය හා අවකාශය යන පරාමිතීන් දෙකම සම්බන්ධ හඳුනාගැනීම් සහිත දත්ත එකතුවක් භාවිතා කරයි.

මීට අමතරව, LOVEU(Long-form Video Understanding) challenge තුළදී තෙවන ස්ථාන දෙකක් හිමිකර ගැනීමටද OPPO සමත් විය.

මෙම අභියෝග තුළින් මතුවන අති-නවීන තාක්ෂණයන් ඉදිරියේදී මානව වර්ගයාගේ යහපත සලසන පොදු තාක්ෂණික විසඳුම් සඳහා භාවිතා වනු ඇත. ‘මානව සංහතියට තාක්ෂණය, ලෝකයට කරුණාව’ යන මෙහෙවර යටතේ OPPO එම විසඳුම් නිර්මාණය කිරීමේ උත්සාහයන් වඩාත් අර්ථවත් හා ඵලදායී කිරීම සඳහා කැපවී සිටින බවත් පවසයි.

Views: 45