NIFL සමාගම ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ හෝ ලැයිස්තුගතවීමෙන් ඉවත් වීමේ අදහසක?

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL) සමාගමට සිය ද්‍රවශීලතාව ප්‍රමාණවත් තරමින් ඉහළ නංවා ගැනීමට නොහැකි වුවහොත් එම සමාගම ඉදිරියේදී ලැයිස්තුගතවීමෙන් ඉවත් වීමට හැකියාවක් පවතින බව මාධ්‍ය වාර්තා පවසයි.

එල්ඕඑල්සී සමූහයට අයත් එහෙත් මිල අවිනිශ්චිත මෙම සමාගමේ කොටස් වටිනාකම් ආසන්න සති කිහිපයේදී අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් හුවමාරුවෙහි නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේද අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඉදිරියේදී සමාගමේ ද්‍රවශීලතාව ඉහළ නංවාගැනීම හෝ සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමෙන් ඉවත් කරගැනීමක් වෙත හෝ පිවිසීම සම්බන්ධව දැනටමත් එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තුළ අභ්‍යන්තර සාකච්ඡා වට පැවැත්වෙමින් තිබෙන බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

ගෙවුණු ආසන්න දින 11ක කාලයක් පුරා  කොළඹ කොටස් හුවමාරුව තුළ මෙම එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL) සමාගමේ කොටස් වටිනාකම් ඉහළ ගිය අතර, එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සටහන් විය. ඒ අනුව කොටස් හුවමාරුව විසින් මේ පිළිබඳව සමාගමෙන් විමසීමක්ද සිදු කර තිබූ අතර, එවැනි තත්ත්වයක් ඇති වීම සඳහා අනාවරණය නොකළ කරුණක් හේතු නොවූ බවත්, ඇතැම් විට සිය LOLC සමූහය පසුගිය මූල්‍ය වර්ෂයේ දැක්වූ කාර්යසාධනයේ සාර්ථකත්වය ඊට හේතුවන්නට ඇතැයි NIFL සමාගම කරුණු දක්වා තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට NIFL කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස පහළ වැටෙමින් පවතින අතර, ඉදිරි දිනවලදී එහි සැබෑ වටිනාකමට පත්වෙනු ඇතැයි වෙළෙඳ පොළ විචාරකයෝ පෙන්වා දෙති.

කොළඹ කොටස් හුවමාරුවෙහි දත්ත අනුව පසුගිය ජූනි 14 වැනිදා NIFL සමාගමේ කොටසක වටිනාකම පැවතී ඇත්තේ රුපියල් 73.8ක් ලෙසිනි. එහෙත් ජූනි 30 වැනිදා වනවිට එය රුපියල් 773.25ක් දක්වා ඉහළ යාම සිදුවිය. එසේම මේ තත්ත්වයත් සමගින්ම NIFL සමාගම ලැයිස්තුගත සමාගම් අතරින් විශාල ප්‍රාග්ධනයක් සහිත සමාගම් 10 අතරටද පත්විය.

අද වනවිට NIFL හි කොටස් අතරින් 0.11%ක ප්‍රතිශතයක් පමණක් කොටස් හිමිකරුවන් 243 දෙනෙකු අතර බෙදී ගොස් තිබේ. ඉතිරි කොටස් සියල්ලගේම හිමිකාරීත්වය ඇත්තේ LOLC සමූහයටයි. ඒ අනුව මෙම මිල ඉහළ යාම් හරහා කැපී පෙනෙන වාසියක් එම සමූහයට හිමි වී තිබේ.

කෙසේ වෙතත් අවසන් වරට කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සිදු වූ පසුගිය සිකුරාදා (ජූලි 02දා) NIFL කොටසක වටිනාකම රුපියල් 462.25ක් වූ අතර එය පෙර දිනයේ වාර්තා කළ රුපියල් 524.50ක අගයට සාපේක්ෂව රුපියල් 62.25ක එනම් 11.87%ක පසුබැසීමකි. එසේම සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණයත් රුපියල් බිලියන 109ක් දක්වා පහත වැටී ඇති අතර, ඊට පෙර දිනයේදී එය රුපියල් බිලියන 125ක් විය.

ඒ අනුව ඉදිරියේදී උද්ගතවිය හැකි තත්ත්වයත් සමගින්ම එක්කෝ සමාගමට සිය ද්‍රවශීලතාව ඉහළ නංවා ගැනීම සඳහා ණයකර නිකුත් කිරීම වැනි ණය උපකරණ වෙත යොමු වීමට සිදු වනු ඇති බවත්, එසේත් නැත්නම් එම සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරගැනීමට සිදු වනු ඇති බවත් පැවසෙයි. එහෙත් බැංකු නොවන මූල්‍ය සමාගම් ලැයිස්තුගතවීම නීතියක්ව පැවතීම ඊට ඇති බාධාවයි.

මේ අතර NIFL සිදුවීමට සමගාමීව තවත් මිල අවිනිශ්චිත, සහ ගනුදෙනු සඳහා අඩු කොටස් ප්‍රමාණයක් නිකුත් කර ඇති සමාගම් කිහිපයකම කොටස් මිල වටිනාකම් ඉහළ යාමක් ආසන්න දින කිහිපයේදී දැකගත හැකි වී තිබේ. ඒ අනුව මෙවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීම සමාගම් තුළ පැවතිය යුතු අදාළ අවශ්‍යතාවන් පිළිබඳ නීති දැඩි කිරීමට නියාමකයන්ට සිදුවනු ඇති බවත්, එය මෙවැනි ආකාරයට කෘත්‍රිම කොටස් වටිනාකම් ඉහළ නැංවීම් වැළැක්වීමට උදව්වක් වෙනු ඇති බවත් වෙළෙඳ පොළ විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙන බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

Views: 983