2020-24 තුළ අලුතින් සමාගම් 500ක් ලැයිස්තුගත කිරීමේ රජයේ සැලසුමක්?

වසර 2020 සිට 2024 කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳ පොළ අලුතින් සමාගම් 500ක් ලැයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බව  මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.පී රත්නායක මහතා පවසයි.

ඊයේ පෙරවරුවේදී අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා, කොවිඩ් හමුවේ බිඳ වැටුණු ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා දෙස් විදෙස් බැංකු සමඟ සාකච්ඡා කරමින් පොලී අනුපාත අඩු කර ණය සහන ලබා දීමට හැකි වූ බව ප්‍රකාශ කර ඇත.

එහිදී විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය කරන ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බවද පවසා ඇති ආර්.එම්.පී රත්නායක මහතා  2022 ජනවාරි මාසය වනවිට ජාතික ණය සුරැකුම් ආයතනයක් රට තුළ ස්ථාපිත කළ හැකි බවට විශ්වාසය පළ කරන බවත් සඳහන් කර ඇත.

මෙම අවස්ථා සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ෂෙහාන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්වන නීල් බණ්ඩාර හපුහින්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්‍ෂ්මන් මහත්වරුන් ඇතුළු රාජ්‍ය බැංකු හා මුදල් අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Views: 442