“ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මීළග ආර්ථික දොරටුවයි” – ආයෝජන මණ්ඩල සභාපති

මෑතකාලයේ ලොව පැවැත්වූ සාර්ථකම මාර්ගගත ආයෝජන සමුළුව ලෙස සැලකෙන Invest Sri Lanka 2021 ආයෝජක සමුළුව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඉදිරි දශකය තුළදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම දෙගුණ කිරීම එනම් ඇමරිකානු ඩොලර් 8000 සීමාව කරා ළගා වීම තම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මෙරට තුළ සිදු කෙරෙන ඍජු විදේශ ආයෝජන සඳහා පහසුකම් සලසන්නා ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතාද එහිදී අදහස් දැක්වීමක් සිදු කළ අතර, ඔහු විසින් ඉදිරි දශකයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ආර්ථික ක්‍රියාදාමයන් පිළිබදව දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.

සභාපතිවරයාගේ එම අදහස් දැක්වීමේ පළමු කොටස මෙසේය,

ශ්‍රී ලංකාව යනු ආසියානු කලාපය තුල උපාය මාර්ගිකව ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති, වර්ධනය වන වෙළඳපොළක් සහිත ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන රටකි. තිස් වසරක සිවිල් යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සීඝ්‍ර වර්ධනයක් ලැබූ අතර පසුගිය අභියෝගාත්මක වර්ෂයන් ද ඇතුලත්ව ආසන්න වසර දහය තුල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍යය, සංයුක්ත වාර්ෂික වර්ධන වේගයෙන් 5% ක් ලෙස සටහන් වේ.

රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 4000 ක් වන අතර එය දකුණු ආසියාවේ සාමාන්‍යයට වඩා තුන් ගුණයකි. වර්තමාන අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් අවශ්‍ය නිවැරදි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම නිසා ශ්‍රී ලංකාව ඉහල වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වේ.

ලෝකයේ මීළඟ ආර්ථික වර්ධන රැල්ල දකුණු ආසියාවේ සහ නැගෙනහිර අප්‍රිකාවේ ක්‍රියාත්මක වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළකර ඇත.

එම වර්ධන අවස්ථා උකහා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉතා උපාය මාර්ගිකව ස්ථානගත විය යුතුය. අන්තර්ජාතික මට්ටමේ වරායන් දෙකක් සහ අන්තර්ජාතික ගුවන්තොටුපළවල් තුනක් ඇති ශ්‍රී ලංකාව ප්‍රතිඅපනයන කේන්ද්‍රස්ථානයක් වන අතර එය දකුණු ආසියාවේ ආර්ථික දොරටුව බවට පත්වෙමින් තිබේ.

මෙම හේතුවෙන් එක් උපාය මාර්ගික ස්ථානයක සිට බිලියන තුනකට අධික පාරිභෝගික පිරිසකට සමීප වීමට ආයෝජකයින්ට අවස්ථාව ලැබේ. මේ නිසා ශ්‍රී ලංකාවට තම දකුණු ආසියානු අසල්වැසියන් සමඟ කිසිදු බාධාවකින් තොරව වෙළඳාම් කිරීමට හැකියාව හිමි වේ. අද වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම ජීවන පරිසරය සහිත ‘කුසලතා බලාගාරය’ ලෙස හැඳින්විය හැකිය.

මීට අමතරව, ශ්‍රි ලංකාව යනු රැකියාවක නිරතවීමට, ජීවත් වීමට හා ජීවිතය භුක්ති විඳීමට සුදුසු රටක් ලෙස අන්තර්ජාතිකව ශ්‍රේණිගතකර ඇති රටකි. ඉතාමත් උගත්, පහසුවෙන් පුහුණු කළ හැකි සහ දක්ෂ ශ්‍රම බලකායක් අපට ඇත. ඩිජිටල් සාක්ෂරතාවය 50% කට ආසන්නය. ජනගහණයෙන් 30% ක් පරිගණක සාක්ෂරතාවයෙන් සවිබල වි ඇත. 100% කට ආසන්න තරුණ සාක්ෂරතා අනුපාතයක් ද අප සතුව වේ.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම ජීවන තත්ත්වය සහිත ජීවත්වීමට සුදුසුම අංක එක ස්ථානයේ ශ්‍රේණිගත වී ඇති රටකි. සාම්ප්‍රදායිකව අප තේ, රබර්, පොල් සහ ඇඟලුම් අපනයනය සඳහා ප්‍රසිද්ධය. එහෙත් ආයෝජකයෙකුට මෙහි ආයෝජනය කිරීමට තවත් බොහෝ කේෂ්ත්‍ර ඇති බව ඔබට පෙනෙනු ඇත.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි, දැනටමත් අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් සකස්කර ක්‍රියාත්මක වෙමින් පවති. මීට අමතරව ශ්‍රි ලංකාව කලාපයේ අනෙකුත් රටවල් විසින් ලබාගන්නා ආර්ථික දියුණුවත් සමග ඇතිවන ආයෝජන අවස්ථා ග්‍රහණය ගැනීමට සමත් විය යුතුය.

මෙම සියළු ආර්ථික උපායමාර්ගික සැලසුම් ඉදිරි දශකය තුළ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමට පදනම වනු ඇත. එවිට වැඩි ඵලදායි ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමෙන් ආයෝජකයන්ට මෙන්ම මෙරට සියළු ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්වන පරිසරයක් නිර්මාණය වනු ඇත.

ඉදිරි වසර 10 තුළ දළ දේශීය නිෂ්පාදිතය දෙගුණ කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට හා සැමට ප්‍රතිලාභ බෙදීයන අයුරින් සීඝ්‍ර වර්ධනයක් ලගාකර ගැනීමට අවශ්‍ය ආයෝජනයන් අත් කර ගැනීමට ක්‍රියාත්මක විය හැකි අංශ හයක් සහ ඊට සමගාමී උප අංශ සදහා වන ක්‍රියා මාර්ග ක්‍රියාත්මක වෙමින් පවතී.

නිෂ්පාදනය, කෘෂිකර්මය සහ ආහාර සැකසීම, වෙනත්සේවා සහ යටිතල පහසුකම්, ඩොලර් බිලියනය ඉක්මවූ ප්‍රමුඛ දිරිගැන්වීම් අවස්ථා සහිත ඖෂධ කලාපයක්, ලොව වඩාත්ම මානව හා පාරිසරික හිතවාදි ප්‍රතිපත්තීන් අනුගමනය කෙරෙන ඇඟලුම් මූලාශ්‍ර ගමනාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කොළඹ වරාය නගරය (PORT CITY) එම අංශ වෙයි.

මෙම අංශ 06 පිළිබඳව ඇතුළත් සභාපතිවරයාගේ අදහස් දැක්වීම බලාපොරොත්තු වන්න…

Hits: 348