හෙලිකොප්ටරයක් මිලදී ගත් ‘නිව් රත්න සහල්’ මුදලාලි ‘රත්න ඒවියේෂන්’ අරඹලා

පොලොන්නරුවෙහි සුප්‍රසිද්ධ සහල් ව්‍යපාරයක් වන ‘නිව් රත්න සහල්’ සමාගම අයත් නිව් රත්න සමූහ සමාගම (නිව් රත්න ගෘප් ඔෆ් කම්පැනීස්) මගින් ‘රත්න ඒවියේෂන්’ නමින් පෞද්ගලික ගුවන් සමාගමක් පිහිටුවා ඇතැයි පවසයි. එම සමාගම මගින් මිලදී ගත් හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් මෙම සමාගම ආරම්භ කර තිබේ.

මෙම ගුවන් සේවය හරහා අතිවිශේෂිත පුද්ගලයන්, දර්ශන නැරඹීම සඳහා වන ගුවන් ගමන්, ගුවනේ සිට මල් ඉසීම්, මංගල උත්සව ඇතුළු අවස්ථා සඳහා ප්‍රවාහන පහසුකම් යනාදිය සැපිරීම සිදු කරන බව රත්න ඒවියේෂන් ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

ඒ අතරින් මංගල උත්සව අවස්ථාවන් සඳහා රුපියල් 89,000ක විශේෂිත ප්‍රවර්ධන පැකේජයක්ද හඳුන්වා දී තිබෙන බව පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි පිහිටි රොබින්සන් හෙලිකොප්ටර් සමාගම මගින් නිපදවා ඇති මෙම හෙලිකොප්ටර් යානයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 15ක් පමණ වන බව පැවසෙයි. මගී ප්‍රවාහන හෙලිකොප්ටර් යානයක් වන මෙහි එක් නියමුවෙකු සහ මගීන් දෙදෙනකු සඳහා ඉඩකඩ පවතී.

නිව් රත්න සහල් සහ නිව් රත්න ගෘප් ඔෆ් කම්පැනීස් යන සමාගම්වල හිමිකරුවා වන්නේ පොලොන්නරුවේ සුප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයෙකු වන ලංකේශ්වරගේ මිත්‍රපාල මහතායි. ඔහු සිය පුත්‍රයාගේ විවාහ මංගල්‍යය උත්සවය වෙනුවෙන් මෙම හෙලිකොප්ටර් යානය මිලදී ගෙන ගුවන් ගත කර තිබෙන බවටද මාධ්‍ය වාර්තා පළ කෙරී ඇත.

මේ අතර, මෙලෙස පොලොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු හෙලිකොප්ටර් යානයක් මිලදී ගෙන ඇති බවට වන රාවයක් පසුගිය සතියේදී මාධ්‍ය හරහා කතාබහට ලක් විය. එහිදී ඒ සම්බන්ධයෙන් මූලිකම අවධානය අරලිය සමූහ ව්‍යාපාරයේ හිමිකරුවා වන ඩඩ්ලි සිරිසේන මහතාට එල්ල විය.

කෙසේ වෙතත් ඔහු දිගු සටහනක් තබමින් තමන් සිය සහල් ව්‍යාපාරයෙන් රැස් කරගත් ධනය මෙරට තුළම ආයෝජනය කළා විනා, විදෙස් රටකින් හෙලිකොප්ටරයක් මිලදී ගැනීමට යට නොකරන බව පවසා තිබුණි. අද වනවිට අරලිය වෙළෙඳ නාමය යටතේ සිරිසේන මහතා තරුපන්තියේ හෝටල්, දේපළ වෙළෙඳාම් දක්වා සිය ව්‍යාපාරය පුළුල් කරගෙන ඇත.

Views: 369