චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය ස්ථාපිත කෙරෙයි

චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) පසුගියදා චීනයේ  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ආරම්භ කරන ලද බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී ඇත.

දෙරට අතර වෙළඳ හා ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකා අපනයනකරුවන් මුහුණ දෙන බාධක ලිහිල් කිරීම මෙම සංගමය පිහිටුවීමේ පරමාර්ථය වෙයි.

මෙහිදී CSLATE සමඟ චීන පිවිසීමේ – පිටවීමේ පරීක්ෂණ සහ නිරෝධායන සංගමය (CIQA) සහ ජාත්‍යන්තර ඉංජිනේරු උපදේශකවරුන්ගේ ජාත්‍යන්තර ව්‍යාපාර උපදේශක සභාව පිළිබඳ චීන සංගමය අතර අවබෝධතා ගිවිසුම් දෙකකටද  අත්සන් තබා තිබේ.

මෙම අවස්ථාවේ දී CSLATE හි නිලධාරී මණ්ඩලය තෝරාගනු ලැබීය. ඒ අනුව චිරංජය උඩුමුල්ල, කවීෂ ලොකුහිටිගේ සහ නන්දන හේවගේ යන මහත්වරුන් පිළිවෙලින් සභාපති, මහලේකම් සහ මූල්‍ය ප්‍රධානී යන තනතුරුවලට පත්ව තිබේ.

රැස්වීම අමතමින් ආචාර්ය පාලිත කොහොන මැතිතුමා පැවසුවේ, චීනය වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයනය ඉහළ නැංවීම සහ දෙරට අතර වෙළඳ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා CSLATE සහාය විය යුතු බව පවසා තිබේ. එසේම එය චීන ව්‍යාපාරික ප්‍රජාව කරා ද ළඟා විය යුතු බව ඔහු පෙන්වා දී ඇත.

තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා, චීන පිවිසීමේ – පිටවීමේ පරීක්ෂණ සහ නිරෝධායන සංගමයේ සභාපති ෂින් වැන්ග් මහතා සහ ජාත්‍යන්තර ව්‍යාපාරික උපදේශක සභාවේ ප්‍රධාන ලේකම් රෙන් යිෆෙන් මහතා මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති වැන්ග් සහ යිෆෙන් මහත්වරුන්, ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකා අපනයනකරුවන් මුහුණ දෙන බාධක ලිහිල් කිරීම සඳහා පූර්ණ  සහයෝගය ලබා දෙන බව පවසා තිබේ.

Visits: 106