කොමර්ෂල් බැංකුව කෑගල්ල ශික්ෂණ රෝහලට දැඩි සත්කාර ඒකක ඇඳන් පරිත්‍යාග කරයි

වාර්ෂිකව රෝගීන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන සහ රෝගීන් 350,000 කට වැඩි සංඛ්‍යාවක් සායන වලට පැමිණෙන කෑගල්ල ශික්ෂණ රෝහලට කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා දැඩි සත්කාර ඒකක ඇඳන් 03 ක් පරිත්‍යාග කරන ලද බව පවසයි.

රෝහල විසින් බැංකුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදුකළ අතර කොවිඞ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ රෝගීන්ට මෙන්ම වෙනත් රෝගාබාධ වලට ගොදුරු වූ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට මෙමගින් සහයෝගයක් හිමිවේ.  

කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක භාරය මේ වනවිට රජයේ රෝහල් 16 ක් වෙත අවශ්‍ය පුද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල (PPE), මුහුණු ආවරණ, සර්ජිකල් මුහුණු ආවරණ, අත් සේදුම් විෂබීජ නාශක දියර, Slit ලෑම්ප් උපකරණ, පල්ස් ඔක්සිමීටර්, මල්ටිපැරා මොනිටර් සහ ඔක්සිජන් කන්සන්ටේ‍්රටර් ඇතුළු උපකරණ පරිත්‍යාග කර තිබේ.

එසේම, රජය විසින් පසුගිය වසරේදී ආරම්භ කළ ජාතික කොවිඞ්-19 සෞඛ්‍යාරක්ෂක සහ සමාජ ආරක්ෂණ අරමුදලට කොමර්ෂල් බැංකුව මුදලින්ද ආධාර කර තිබේ. 

මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ සභාපති, විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා සහ බැංකුවේ මෙන්ම කෑගල්ල ශික්ෂණ රෝහලේ නියෝජිතයින් එක්ව තිබේ.

Views: 41