CSE සඳහා හඳුන්වාදීමට යන DVP ගැන Twitter හි අදහස් රැසක්

කොටස් හුවමාරුවෙහි ගනුදෙනු සඳහා භාරදීමට එදිරිව ගෙවීම් (DVP – Delivery Vs. Payment) යාන්ත්‍රණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව සිදු කර ඇති සැලසුම් සම්බන්ධයෙන් ඊයේ සන්ධ්‍යාවේ සිටම Twitter  සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් මතුව තිබුණි.

මෙම සැලසුම් අනුව අවසන් වටයේ අත්හදා බැලීම් සහ ආදර්ශ ක්‍රියාත්මක කිරීම්වලින් අනතුරුව 2021 ජූලි 26 වැනිදා සිට මෙම DVP යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව පවසා තිබේ.

මෙලෙස DVP යාන්ත්‍රණය ලෙස ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීම මගින් කොටස් අලෙවිකරුවන්ගේ වත්කම් සඳහා වන අවදානම අවම කරවන බව පැවසෙයි. ඒ අනුව මෙම නව ක්‍රමවේදය යටතේ ගනුදෙනු කෙරෙන කොටස් අදාළ මිලදී ගන්නා වෙත හුවමාරුවීම ගනුදෙනුවට අදාළ ගෙවීම් පියවීම සිදුවන දිනයේදී පමණක් සිදු වන බව සඳහන් වෙයි. අද වනවිට කොටස් හුවමාරු වී දින තුනකට පසුව මෙම ගෙවීම් පියවීම සිදු කෙරේ.

කෙසේ වෙතත් මෙම DVP ක්‍රමවේදය මගින් තනිපුද්ගල ආයෝජකයන් වෙත බලපෑම් එල්ල වන බවට බොහෝ පිරිසකගේ අදහස වී තිබේ. එහෙත් එය එසේ නොවන බවත් මෙම නව හඳුන්වාදීම සැමගේම සුබසෙත උදෙසා සිදුකරන්නක් බවත් කොළඹ කොටස් හුවමාරුව සහ එහි නියාමකයා වන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අදහස විය.

මෙම DVP යාන්ත්‍රණය හඳුන්වාදීම සම්බන්ධයෙන් වන සැලසුම් ප්‍රසිද්ධයට පත් කිරිමත් සමගින්ම ට්විටර් තුළ අදහස් දැක්වූ පළමු පිරිස් අතර මෙරට මුල් පෙළේ ආයෝජකයන් දෙපළක් වන ඉමිතියාස් බුහර්දීන් සහ නිමල් පෙරේරා යන මහත්වරුන්ද විය.

ඒ අතරින් ඊයේ පස්වරු 3.37ට සිය ට්විටර් ගිණූමේ සටහනක් තැබූ ඉමිතියාස් බුහර්දීන් මහතා (@BuhardeenImtiaz) කොළඹ කොටස් හුවමාරුවෙහි මෙම තීරණය අගය කරමින් අදහස් දක්වා තිබුණී.

“කොළඹ කොටස් හුවමාරුව/සුරැකුම්පත් හා විනිමය කොමිසම ජූලි 26 ඉදන් DVP යාන්ත්‍රණයක් ආරම්භ කරනවා. මේ හරහා වඩාත් වැඩි විශ්වාසනීයත්වයක් ලබා දෙනවා වගේම එය ඉතා හොඳ පියවරක්, විශේෂයෙන්ම විදේශිකයන් මෙයට කැමති වේවි. ඒ වගේම මේ හරහා කොළඹ කොටස් හුවමාරුවට වඩා වැඩි ආයෝජන පැමිණීම් සිදු වේවි.” එහි සඳහන්ව තිබුණි.

කෙසේ වෙතත් නිමල් පෙරේරා මහතා (@nimalhperera) මෙම නව යාන්ත්‍රණය සම්බන්ධයෙන් දැක් වූ අදහස් කාගේත් කතාබහට ලක් විය.

ඒ අනුව ඊයේ  (18දා) රාත්‍රී 10.14ට අදහස් දැක්වීමක් සිදු කළ ඔහු කියා සිටියේ “DVP යාන්ත්‍රණයක් කොළඹ කොටස් හුවමාරුව වෙත හඳුන්වාදීම රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එක් රැයකින් කාබනික පොහොර හඳුන්වා දෙනවා හා සමාන වැඩක්. ඒ නිසා තවත් රුධිරය වැගිරීමක් බලාපොරොත්තුවන්න.” යනුවෙනි.

බොහෝ දෙනෙකු මෙ අදහස සම්බන්ධයෙන් විවිධ මත දැරුවේය..

එසේම රාත්‍රී 10.24ට දෙවැනි ට්විටර් පණීවුඩයක් හරහා සිය කරුණු දැක්වීම තවදුරටත් පැහැදිලි කර සිටි නිමල් පෙරේරා මහතා, තනි පුද්ගල ආයෝජකයන් මේ නව යාන්ත්‍රණය පිළිබඳව දැනුවත් නොකිරීමෙන් දරුණු ප්‍රතිඵල ලැබිය හැකි බව සඳහන් කර සිටියේය.

“මෙතැනදී තනි පුද්ගල ආයෝජකයන් (ආයෝජක ප්‍රජාවගෙන් 50%කට වැඩි පිරිස) මෙම DVP සම්බන්ධයෙන් මුල සිට අගට (A-Z) දැනුවත් නොකළොත් ඉන් ලැබෙන ප්‍රතිඵල හානිදායක වේවි” එහි සඳහන්ව තිබුණි.

නිමල් පෙරේරා මහතාගේ මෙම අදහස් දැක්වීම් ට්විටර් සමාජ මාධ්‍ය තුළ තවදුරටත් කතාබහ වැඩිවෙද්දී රාත්‍රී 11.21ට පණිවුඩයක් තැබූ ඒ මහතා, තමන් මෙම DVP යාන්ත්‍රණයේ වැරැද්දක් නොමැති බව පවසා සිටියේය.

“මම කියන්නේ නෑ මේ DVP යාන්ත්‍රණයේ වැරැද්දක් තියෙනවා කියලා. මම කියන්නේ මේ සම්බන්ධයෙන් තනි පුද්ගල ආයෝජකයන් තවදුරටත් දැනුවත් කරන්න ඕනේ කියලයි. එක රැයකින් ඔබට බැහැ වෙනස්කම් ක්‍රියාත්මක කරන්න. තවමත් බොහෝ ආයෝජකයන්ට බැහැ තමන්ගේ ශේෂ පත්‍රයවත් තේරුම්ගන්න. වෙළෙඳ පොළ වෙත සම්බන්ධව සිටින පිරිසගෙන් 58%ක්ම මේ තනි පුද්ගල ආයෝජකයන්.” ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත.

මේ අතර ඊයේ (18දා) රාත්‍රී 10.25ට සිය ට්විටර් ගිණූමේ පණිවුඩයක් තබන මෙරට තවත් ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ඉමිතියාස් බුහර්දීන් මහතා, ජූලි 26 වැනිදා සිට ආරම්භ වීමට යන මෙම DVP යාන්ත්‍රණය සම්බන්ධයෙන් බොහෝ වැරදි වටහා ගැනීම් පවතින බව සඳහන් කර තිබුණි.

“කොළඹ කොටස් හුවමාරුව ජූලි 26 වැනිදා සිට මෙම DVP යාන්ත්‍රණය ආරම්භ කිරීමට යන බවට නිවේදනය කිරීමත් සමගින්ම කොටස් හුවමාරුව සම්බන්ධයෙන් බොහෝ වැරදිවටහා ගැනීම් සහ පටලැවිල්ලක් සිදුව තිබෙනවා. විශේෂයෙන්ම දෛනික ගනුදෙනු සිදු කරන පුද්ගලයන් අතර. ඒ නිසා සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවට සහ කොළඹ කොටස් හුවමාරුවට පුළුවන් නම් මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු/අධ්‍යාපනය ඉක්මනින් ලබා දෙන්න එය වඩාත් යහපත් වේවි.”  එහි සඳහන්ව තිබුණි.

මේ අතර CSE Colombo Stocks Small Investors (@NewsCse) නම් ට්විටර් ගිණුම මගින්ද ඊයේ රාත්‍රී 11.38ට පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ අතර, නිමල් පෙරේරා මහතා අවසන්වරට දැක්වූ අදහසට තමන්ද එකඟ වන බව එම පණිවුඩයේ සඳහන්ව තිබුණි.

“ශ්‍රී ලංකාවේ බොහෝ තනි පුද්ගල ආයෝජකයන් කොළඹ කොටස් හුවමාරුවෙහි විශාල භූමිකාවක් රඟදැක්වුවත්, මෙම සරල ක්‍රමවේදය පිළිබඳව ඔවුන්ගේ දැනුම ඉතාමත් අල්පයි. මෙවැනි DVP යාන්ත්‍රණ පැමිණීම සිදුවිය යුතු වුවත්, මූලික ගනුදෙනු දැනුම පමණක් ඇති CDS ගිණුම් හිමි ආයෝජකයන් මේ පිළිබඳව දැනුවත් කිරීම අනිවාර්යයයි.” එහි සඳහන්ව තිබුණි.  

තත්ත්වය මෙසේ පවතිද්දී ඇතැම් දෙනා සිය ට්විටර් ගිණුම් හරහා කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා අදදෙරණ24 නාලිකාව වෙත එක්වෙමින් මෙම DVP යාන්ත්‍රණය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කරන වැඩසටහනක යූටියුබ් සබැඳියක්ද (https://t.co/wsbkU1x0iB?amp=1) ප්‍රසිද්ධියට පත්කර තිබුණි.

මෙලෙස ආයෝජකයන් තුළ මෙම DVP යාන්ත්‍රණය පිළිබඳව විවිධ අදහස් මතුවෙමින් තිබෙද්දී, අද පෙරවරු 10.03ට ට්විටර් පණිවුඩයක් තබන කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා (@RajeevaBSL), මෙම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ සිදුවන විශාලතම සහ වඩාත් වැදගත්ම වෙනස්කම් අතරින් එකක් බව පවසා තිබුණි.

“DVP යාන්ත්‍රණය ලංකාවේ කොටස් වෙළෙ පොළ තුළ සිදු කරන දැවැන්තම සහ වඩාත් වැදගත්ම වෙනස්කම් අතරින් එකක් වේවි. එමගින් කොළඹ කොටස් හුවමාරුවෙහි අවදානම් කළමනාකරණ භාවිතයන් ගෝලීය වෙළෙඳ පොළ භාවිතයන් හා සමාන මට්ටමට  පත්වෙනවා. ඒ වගේම වෙළෙඳ පොළ තවදුරටත් පුළුල් කිරීමට එය අවස්ථාව සලසනවා” එහි සඳහන් වෙයි.

කෙසේ වෙතත් අද දහවල් වන විටත් මෙම DVP යාන්ත්‍රණය පිළිබඳව වන ආයෝජක අදහස් තවදුරටත් ට්විටර් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවීමත්, ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වගකීම කොළඹ කොටස් හුවමාරුව වෙත හිමිවන බවත් සඳහන් වීමත් සමගින්ම යළිත් අද දහවල් 1.52ට සිය ට්විටර් ගිණුම හරහා අදහස් දැක්වූ බණ්ඩාරනායක මහතා, මේ හරහා ආයෝජකයන්ගේ ගනුදෙනු වෙත බල නොපාන බව සඳහන් කළේය.

 “දේශීය තනි පුද්ගල ආයෝජකයන් මේ DVP පිළිබඳ සැකසංකා ඇති කරගත යුතු නැහැ. දැනට ක්‍රියාත්මක වෙන ගනුදෙනු ක්‍රමය ඉන් වෙනස් වෙන්නේ නැහැ. එය ඔබලාගේ ඩේ ඩ්‍රෙඩිං හැකියාව වෙත බලපාන්නේ නෑ. ඒ වගේම ඔබලාගේ පිරිවැය වෙත වගේම තැරැව්කාර සමාගම් මගින් හිමිවන ණය පහසුකම් වෙතත් එය බලපාන්නේ නෑ”

එසේම ඊට විනාඩි 8කට පසුව එනම් අද පස්වරු 2.00 යළිත් ට්විටර් ගිණුමේ සටහනක් තබන රජීව බණ්ඩාරනායක මහතා, කොළඹ කොටස් හුවමාරුව මෙම DVP පිළිබඳව දේශීය තනි පුද්ගල ආයෝජකයන් දැනුවත් කරන බව පවසා සිටියේය.

“CSE ඉදිරියේදී දැවැන්ත ප්‍රචාරණ වේදිකාවක් සහ ඍජුවම සම්බන්ධවීම් හරහා මෙම DVP සම්බන්ධයෙන් මේ මොහොතේ සිට එය දියත් කරන ලබන ජූලි 26 වැනිදා දක්වා දේශීය තනි පුද්ගල ආයෝජකයන් දැනුවත් කිරීමට කටයුතු යොදනවා.” එහි සඳහන්ව තිබුණි.

ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස අද පස්වරු 3.05 පමණ වන විට කොළඹ කොටස් හුවමාරුවෙහි නිල ට්විටර් ගිණුම (@CSE_Media) හරහා මෙම DVP යාන්ත්‍රණය පිළිබඳ සිංහල භාෂාවෙන් සකස් කළදැනුවත් කිරීමේ වීඩියෝ පටයක් නිකුත් කළ අතර, කොළඹ කොටස් හුවමාරුවෙහි නිල යූටියුබ් නාලිකාවේ සබැඳියක් (https://www.youtube.com/watch?v=lNJ8fKTP3Rc) එහිදී ප්‍රසිද්ධියට පත් කෙරිණි.

Visits: 799