“BEAT” හා සමාන “NEAT” නිෂ්පාදනයට එරෙහිව DSI වාරණ නියෝගයක් ලබා ගනී

ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්ගලික) සමාගම ඔවුන්ගේ නීතිඥයන් වන සුදත් පෙරේරා නීතිඥ සමාගම මගින්, එම සමාගමට අයත් “BEAT” වෙළඳ ලකුණේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ දී නඩු පැවරීමක් සිදුකළ බව පවසයි.

එම නඩුවේදී අධිකරණය විසින් අදාළ නඩුවේ විත්තිකරු වූ උඩවත්ත දුරාගේ ලලිත් යන අයට සහ ඔහුගේ සේවකයන්ට, නියෝජිතයන්ට, වැඩකරුවන්ට, සේවාදායකයන්ට සහ ඔහු මගින් අයිතිවාසිකම් අයැද සිටින ඕනෑම අයකුට විසින් ඍජුව, වක්‍රව හෝ වෙනත් කුමන හෝ ආකාරයකින් මෙම “BEAT” නම/ලකුණ/ලාංඡනය ඒ ආකාරයෙන් හෝ කිසියම් වෙනස් කිරීමකින් යුතුව හෝ භාවිතා කිරීම වළක්වාලමින් මෙලෙස වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

DSI, DSI Supersport, DSI Beach, BEAT, DSI USofto, AVI, Samsons, Star Kids, Fun Souls, Petalz, Melissa, Jessica, Picasso, Tamik, Nirogi, Care+ සහ Power Fit යනාදී සන්නාම යටතේ නිෂ්පාදන ඉදිරිපත් කරන ඩී.සැම්සන් සහ පුත්‍රයෝ (පුද්ගලික) සමාගම සිය “BEAT” වෙළඳ ලකුණේ ලියාපදිංචි අයිතිකරු වශයෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයට එම ලකුණට අතිශය සමාන පෙනුමැති “NEAT”නිෂ්පාදන නීතිවිරෝධීව සෑදීම සහ විකිණීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

පැමිණිලිකරුවන් අධිකරණයේ දී සැළ කර සිටින ලද්දේ, විත්තිකරු විසින් පැමිණිලිකරුට අයත් “BEAT” ලියාපදංචි වෙළඳ ලකුණ, අවධානයට පාත්‍ර විය යුතු තරමේ කිසිදු වෙනස්කමකින් තොරව යොදා ඇති බව යි. එසේ ම සෙරෙප්පු පටියේ කොටා ඇති “NEAT” ලකුණ, පැමිණිලිකරුගේ වෙළඳ ලකුණට අතිශය සමාන බැවින් පාරිභෝගිකයා හට නිෂ්පාදන අතර ව්‍යාකූලත්වයක් ඇති කර වන බවට ඔවුන් වැඩිදුරටත් කරුණු දක්වන ලදී.

පැමිණිලිකරුගේ “BEAT” ලියාපදිංචි ලකුණේ B අකුර වෙනුවට විත්තිකරු විසින් ඔහුගේ නිෂ්පාදනයේ දී N අකුර පමණක් යොදා ඇති බවත්, එය සැබවින් ම නොසලකා හැරිය යුතු තරමේ නොවැදගත් වෙනස් කිරීමක් බවත්, පැමිණිලිකරුගේ ලියාපදිංචි ලකුණට සමාන හෝ සර්ව සම වන ලෙස විත්තිකරු ඔහුගේ නාමය/ලාංඡනය/ලකුණ යොදා ඇති බවත්, එමගින් පැමිණිලිකාර සමාගමේ “BEAT” වෙළඳ ලකුණට හිමි කීර්තිය හා ජනප්‍රසාදය තමාගේ නිෂ්පාදනය වෙත ආරෝපණය කොට ගෙන අයුතු ලාභයක් උපයා ගැනීමේ වංක චේතනාවෙන් කටයුතු කර ඇති බවත්, පැමිණිලිකරුගේ නීතිඥවරු වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළහ.

පැමිණිලිකරුගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරු ආර්. ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා, පැමිණිලිකරුගේ “BEAT” ලියාපදිංචි වෙළද ලකුණට දෘශ්‍යමය වශයෙන් හෝ ශබ්දමය වශයෙන් සමාන වන හෝ සර්ව සම ආකාරයට හෝ, පාරිභෝගිකයන් නොමගයවනසුලු හෝ ව්‍යාකූල වන පරිදි සකසා ඇතැ යි චෝදනාවට ලක් වන ලබන විත්තිකරුගේ “NEAT” නම/ලාංඡනය/ලකුණ සහිත නිෂ්පාදන තවදුරටත්භාවිත කරමින් ව්‍යාපාර කටයුතු කරගෙන යෑම, කූට නිදේශනය කිරීම (Passing off) වළක්වාලමින් විත්තිකරුට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

තවද 2021.06.16 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් අධිකරණය විසින් විත්තිකරුට නොතීසියක් ද නිකුත් කර ඇත.

DSI සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඩී. සැම්සන් සහ පුත්‍රයෝ (පුද්ගලික) සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ ආර්ථිකා සෙල්ලදුරෙයි මෙනවිය, නීතිඥ ශනිකා ගුණවර්ධන මහත්මිය සමග නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා පෙනී සිට ඇත.

Views: 357