අබාන්ස් සමූහයේ මීළග යොමුවීම ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයටලු

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන අබාන්ස් සමූහය ඉදිරියේදී මූලිකවම ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය ඇතුළු තවත් විවිධාංගීකරණය වූ ක්ෂේත්‍ර වෙත සිය ආයෝජන සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද පවසයි.

2020/21 මූල්‍ය වර්ෂය වෙනුවෙන් සමූහය මගින් ඉදිරිපත් කර ඇති මූල්‍ය වාර්තාව වෙත අදහස් දක්වමින් සමූහයේ සභාපති අබාන් පෙස්ටොන්ජී මහත්මිය මේ පිළිබඳව අනාවරණය කර සිටියි.

“අපි බලාපොරොත්තු වෙනවා ආගන්තුක සත්කාර ඇතුළු නව අංශ වෙත අපගේ ව්‍යාපාර විවිධාංගීකරණය කරන්න. ඒ වගේම අංශ අතර පවතින සහක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද අප තවදුරටත් සොයා බලනවා.” යනුවෙන් ඇය මෙහිදී සඳහන් කර තිබේ.

ගෙවුණු මූල්‍ය වසරේදී අබාන්ස් සමූහය නෙක්ස්ට් ස්ටෝරි ගෘප් සමාගමට අයත්ව තිබූ කලම්බු සිටි සෙන්ටර්හි 50%ක කොටස් ප්‍රතිශතයක් තමන් සතු කර ගැනීමට පියවර ගැනීමත් සමගින්ම මෙලෙස ආගන්තුක සත්කාර අංශය සඳහා අබාන්ස් සමූහයේ යොමුවීම පෙන්නුම් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නෙක්ස්ට් ස්ටෝරි ගෘප් සමූහය අබාන්ස් සමූහය සමගින් ඇති කරගත් එකඟතාව යටතේ කලම්බු සිටි සෙන්ටර්හිදී නෙක්ස්ට් හොටෙල් කලම්බු ඇන්ඩ් කෆ්නු කලම්බු ලෙස බුටික් හෝටලයක් විවෘත කිරීමට සැලසුම් කර තිබූ අතර, මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එම හෝටලයේ හිමිකාරීත්වය අබාන්ස් සමූහය වෙත හිමිව තිබේ.

සැලසුමට අනුව නෙක්ස්ට් හොටෙල් කලම්බු හෝටලය කලම්බු සිටි සෙන්ටර් ගොඩනැගිල්ලේ 9 වැනි මහලේ සිට 20 වැනි මහල දක්වා පිහිටුවීමට නියමිතව තිබුණි. එහි සමස්ත කාමර සංඛ්‍යාව 164 කි. මෙම හෝටලයේ රැඳී සිටින්නන්ට ඉන්දියානු සාගරය වඩාත් හොඳින් දර්ශනයවන ආකාරයට මෙය ඉදිකර තිබේ.

මූල්‍ය වාර්තාව වෙත වැඩිදුරටත් අදහස් දක්වන පෙස්ටොන්ජි මහත්මිය සිය සමූහය මේ වනවිටත් සිල්ලර, සේවා, මූල්‍ය, නිෂ්පාදන සහ දේපළ වෙළෙඳාම් යන විවිධාංගීකරණය වූ ක්ෂේත්‍ර වෙත යොමුව ඇති බවත්, විශේෂයෙන්ම එම තත්ත්වය අභියෝගාත්මක ව්‍යාපාරික තත්ත්වයන් අවස්ථාවේදී සමූහය වෙත වඩාත් ප්‍රත්‍යස්තව ඉදිරියටත් ගමන් කිරීමට හැකියාව ලබා දුන් බවත් පවසා සිටියි.

“ඒ වගේම මෙම නව අංශ වෙත යොමු වීම පාරිභෝගිකයන් වෙත වඩාත් හොඳ විකල්ප ලබාදීමක් මෙන්ම ව්‍යාපාර වෙත වඩාත් හොඳ ප්‍රතිලාභ ලබා ගැනීමටත් අවස්ථාවක් උදාකරාවි.” යනුවෙන්ද පෙස්ටොන්ජි මහත්මිය සඳහන් කර ඇත.

Views: 443