ද. අප්‍රිකාවේ ‘ඇම්බැසඩර් ඩියුටි ෆ්‍රී’ අලෙවි සැලෙත් දැන් ‘සිලෝන් ටී’ විකිණීමට

දකුණු අප්‍රිකාවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට එහි ප්‍රිටෝරියා නුවර පිහිටි ‘ඇම්බැසඩර් ඩියුටි ෆ්‍රී’ අලෙවිසැලෙන් “පිරිසිදු ලංකා තේ” ලබා ගැනීමේ අවස්ථාව මේ වනවිට උදා කර දී ඇතැයි එරට පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, 2021 මාර්තු මාසයේදී ප්‍රිටෝරියා හි රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කළ වැඩසටහන් යටතේ මෙම ‘ඇම්බැසඩර් ඩියුටි ෆ්‍රී’ අලෙවි සැල වෙත ‘සිලෝන් ටී’ සැපයීම සිදු කර තිබේ. 

මෙහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලය, දිල්මා සහ බැසිලර් යන ආයතන සමඟ එක්ව ලංකා තේ සන්නාමය නැවත දියත් කිරීමේ මෙම උත්සවය සංවිධානය කර තිබේ.

ඒ අනුව දූත මණ්ඩලයේ සම්බන්ධීකරණය තුළින් දිල්මා ආයතනය විසින් ප්‍රිටෝරියා හි  තීරුබදු රහිත අලෙවිසැල වෙත නිෂ්පාදන රාශියක් හඳුන්වා දෙන ලදි. මෙය රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ට තනි රටක ලෝක මට්ටමේ තේ රස බැලීම සඳහා අවස්ථාවක් නිර්මාණය කරයි.

ප්‍රිටෝරියාහි දූත මණ්ඩල 135 ක් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල සේවය කරන 2000 කට අධික රාජ්‍යතාන්ත්‍රිකයින් කෙරෙහි මෙම වැඩසටහනේ විශේෂ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව මෙම අවස්ථාව දකුණු අප්‍රිකාව තුළ පිරිසිදු ලංකා තේ පිළිබඳ ප්‍රවර්ධනය සඳහා වූ ජයග්‍රහණයක් බව දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන්  කරයි.

එම කාර්යාලය පවසන ආකාරයට දකුණු අප්‍රිකාව තුළ කළු තේවල සාමාන්‍ය මුළු පරිභෝජනය වසරකට මෙට්‍රික් ටොන් 27,000 ක් පමණ වෙයි. එම ඉල්ලුමෙන් 10% ක් පමණ ප්‍රතිශතයකට ලංකාවේ තේ දායක වේ.

එසේම වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක වටිනාකමක් ගන්නා දකුණු අප්‍රිකාවේ උණුසුම් බීම වෙළඳපොල තුළ, ශ්‍රී ලාංකික කළු තේ 5.8% කට හිමිකම් කියයි.

ශ්‍රී ලංකාව හැරුණු විට, දකුණු අප්‍රිකාවට තේ අපනයනය කරන ඉහළම රටවල් වන්නේ මලාවි, සිම්බාබ්වේ, ටැන්සානියාව සහ කෙන්යාවයි. එම රටවල් මගින් පිළීවෙලින් පොදුවේ වසරකට මෙට්‍රික් ටොන් 14,000 සිට 18,000 දක්වා අපනයනය කරයි.

Visits: 104