ලොව ඉතා වටිනා සම්පතක් වන ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය පුනර්ජීවනය කරමු

බෝතල්, විවිධ භාජන හා තවත් එවැනි පහසුවෙන් භාවිතා කළ හැකි ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීම සඳහා දිනපතා වටිනා සම්පත් භාවිතා කරනු ලබයි. ඒ සඳහා පිරිසිදු අමුද්‍රව්‍ය භාවිතා කිරීම, එම සම්පත්වල පැවැත්ම වේගයෙන් ක්ෂය වීමට හේතුවක් වන බැවින් අනාගත පරපුරට දිගු කල් ජීවත් වීමට හා යහපැවැත්ම සහතික කිරීම සඳහා තිරසර විකල්පයක් වෙත යාමට මෙය සුදුසුම කාලය බව ඇසුරුම්කරණ ආයතනයේ හිටපු සභාපති මයිකල් එෆ්. පෙරේරා මහතා පවසයි.

පිරිසිදු අලූත් අමුද්‍රව්‍ය සඳහා වන මිල ඉහළ යත්ම ඒ සඳහා ඇති හොඳම විකල්පය වන්නේ ප‍්‍රතිචක‍්‍රීයකරණයයි. එය සිදු කළ හැකි අපද්‍රව්‍ය අපට පාර දෙපසින්, ඇළ මාර්ගවලින් හා කසළ රැඳවුම් අංගනවලින් පහසුවෙන් සොයා ගත හැකිය. දිවයින වටා ඇති ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය එකතු කර ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණය කළහොත් සෑම මසකම ආසන්න වශයෙන් ටොන් 1000-1300ක් පමණ වන පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) ආනයනික අවශ්‍යතාවය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කරගත හැකි අතර එය පරිසරයට මෙන්ම ආර්ථිකයට ද ජීවයක් එක්කරනු ඇත.

ශ්‍රී ලංකාවේ මාසිකව භාවිතා කරනු ලබන PET ප්ලාස්ටික් ප‍්‍රමාණයෙන් 60%ක් පමණ බස්නාහිර පළාත තුළ සංසරණය වෙයි. එම ප්ලාටික් අපද්‍රව්‍ය එකතු කර ඵලදායී ලෙස බැහැර කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම් ප්ලාස්ටික් ආනයනය කිරීමේ අවශ්‍යතාවය අඛණ්ඩව ඉහළ යනු ඇති අතර අවසානයේදී සාර්ථක චක‍්‍රීය ආර්ථිකයක් කරා යාමට හා ප‍්‍රතිචක‍්‍රීයකරණ අංශයේ සිටින පුද්ගලයින්ගේ ජීවනෝපායන් ඉහළ නැංවීමට එමගින් නොහැකි වනු ඇත.

bottle-to-bottle සංකල්පය: වඩාත් හොඳ විසඳුමක්ද?
මේ සඳහා ඇති පහසුම විසඳුම වන්නේ නිෂ්පාදිත ප්ලාස්ටික් නැවත භාවිතා කිරීම සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කර නැවතත් ප්ලාස්ටික් බෝතලයක් නිපදවීමයි. නමුත් එය සැබවින්ම කළ නොහැකි වී ඇත්තේ ආහාර ආශ‍්‍රිත ඇසුරුම්කරණයේදී ඒ සඳහා ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් භාවිතා කිරීම ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව ඉඩක් නොමැති වීමයි.

2010 ජුනි 29 වන දින අංක 1160/30 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ‘‘ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික්වලින් සකසන ලද ඕනෑම ඇසුරුමක, උපකරණයක, භාජනයක හෝ බහාලූමක ඇති ඕනෑම ආහාර වර්ගයක්’’ භාවිතය තහනම්ය යනුවෙන් සඳහන් වේ. එමනිසා, ගුණාත්මකභාවය හා පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට ඇති කරනු ලබන බලපෑම ආදී කරණු සලකා ආහාර ආශ‍්‍රිත ඇසුරුම්කරණයේදී ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් භාවිතා කිරීමට පාරිභෝගිකයා තුළ බියක් පවතී.

කෙසේවෙතත් ලොව පුරා රටවල් මෙම සංකල්පය මේ වන විට පිළිගනිමින් සිටින අතර ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතීන්ට අනුකූලව හා ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් පරිසර දුෂණය අවම කිරීම සඳහා ඔවුන් මෙම bottle-to-bottle  සංකල්පය ක‍්‍රියාත්මක කරමින් සිටී. මෙමගින් ඔවුන්ගේ රටවල ආර්ථික දියුණුව මෙන්ම දේශීය ප‍්‍රජාවන්ට ද සෙත සැලසී ඇත. සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහිත ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපය, බ‍්‍රසීලය, බංග්ලාදේශය හා නයිජීරියාව වැනි රටවල ආහාර ආශ‍්‍රිත ඇසුරුම්කරණයේදී ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ PET ප්ලාස්ටික් භාවිතා කරනු ලබන අතර ඒතුළින් එම රටවල් නිෂ්පාදනයේදී විශාල වශයෙන් අලූත් ප්ලාස්ටික් භාවිතය අඩු කර ගැනීමට සමත්ව ඇත.

නිදසුනක් ලෙස ජපානයේ PET ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණ මට්ටම සැලකීමේදී එය ලෝකයේ ඉහළින්ම සිටින රටක් ලෙස සැලකේ. 1995 බහාලූම් හා ඇසුරුම්කරණ ප‍්‍රතිචක‍්‍රීයකරණ කිරීමේ පනත මගින් මේ සඳහා ඔවුන්ට හැකියාව ලබා දී ඇත. වෙන් කරන ලද කසළ එකතු කිරීම ප‍්‍රවර්ධනය කිරීම හා බහාලූම්වල හා ඇසුරුම්කරණයේදී එකතු වන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීම සඳහා ජපානයේ මෙය ක‍්‍රියාත්මක කරන ලදී.

ඉන්දුනීසියාවේ කොකා-කෝලා සමාගම ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ නව පහසුකමක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එම පහසුකම අලූතින් ප්ලාස්ටික් අමුද්‍රව්‍ය භාවිතය ඉතා අවම කිරීමට උපකාරී වනු ඇත. මෙම පහසුකම bottle-to-bottle සංකල්පය ඔස්සේ PET ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ කර්මාන්තශාලාවකට නිවහන වනු ඇති අතර ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් යොදා ගැනීම තුළින් සමාගම විසින් දැනට භාවිතා කරනු ලබන නව ප්ලාස්ටික් ප‍්‍රමාණය සෑම වසරකම ටොන් 25,000කින් අඩු කරගැනීමට සමාගම බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දුනීසියාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලූවට සහාය දක්වමින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට කොකාකෝලා සමාගම අපේක්ෂා කරන අතරම ඉන්දුනීසියාව චක‍්‍රීය ආර්ථිකයක් කරා යන ගමනට සාර්ථක අත්වැලක් ලබා දීමට ද අදහස් කරයි.

එමෙන්ම විදේශ විනිමය සුරැකීම සඳහා සිදු කරන ක‍්‍රියාමාර්ග හා පරිසර දුෂණයට එරෙහිව සිදු කරන සාර්ථක සටනේදී මෙම bottle-to-bottle සංකල්පය බොහෝ රටවල් විසින් පිළිගෙන තිබීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව තුළද එලෙසින් වෙනස් විය යුතුය. ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පිළිබඳ පරිපාලන අධිකාරිය (FDA) පවා මෙම සංකල්පය අනුමත කර ඇති හෙයින් මෙරට බලධාරීන්ද එය අනුගමනය කළයුතුව ඇති අතර PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැවත බෝතලයක් බවට පරිවර්තනය කිරීමෙන් වටිනා විදේශ විනිමය ඉතිරි කර ගැනීමට කටයුතු කළ යුතුය. වර්තමානයේදී ශ්‍රී ලංකාව මසකට දළ වශයෙන් PET ප්ලාස්ටික් ටොන් 1000-1300 ක පමණ ප‍්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර අප සතු විදේශ සංචිත තුළින් PET ප්ලාස්ටික් ආනයනය කිරීම සඳහා ප්ලාස්ටික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 1550ක මුදලක් මසකට වැය කරනු ලබයි.

මීට අමතරව PET ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් ඒවා මුල් ස්වරූපයට ගැනීම 7-8 වාරයකට වඩා සිදු කළ හැකිය. තවද වීදුරු නිෂ්පාදනය සමඟ සැසඳීමේදී PET ප්ලාස්ටික් නිෂ්පාදනයේදී තුන් ගුණයක් අඩුවෙන් කාබන්ඩයොක්සයිඞ් (CO2) නිපදවන හෙයින් එම ක‍්‍රියාවලිය වඩාත් යෝග්‍ය මෙන්ම පරිසරයට අවම හානියක් වන ආකාරයට සිදු කළ හැකි බව විශේෂයෙන්ම මෙහිදී පෙන්වා දිය යුතුය.

කසළ කළමනාකරණය: ශක්තිමත් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රමවේදයක අවශ්‍යතාවය
සමස්තයක් ලෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණ පද්ධතියේ ඇති විශාලතම ගැටලූව නම් කසළ එකතු කිරීම සම්බන්ධයෙන් ඇති දුර්වලතාවයි. මේ අනුව ග‍්‍රාමීය නිවෙස්වල සිට නාගරික නිවෙස් දක්වාත් රටේ පිළිගත් ආයතන දක්වාත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙන් කිරීම හා බැහැර කිරීමේ වගකීම පිළිබඳව මහජනතාවට නිසි අවබෝධයක් ලබා දීම වැදගත්ය.

මූලික වශයෙන්, සෑම නිවසකම කාබනික අපද්‍රව්‍ය, කඩදාසි අපද්‍රව්‍ය, වීදුරු සහ ලෝහ අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා වෙන් වෙන් වශයෙන් නම් කරන ලද බඳුන් 4 ක් තිබිය යුතුය. මෙලෙසින් නිසි පරිදි වෙන් කර තැබීම නිසා එකතු කිරීමට පැමිණෙන්නන්ට ප්ලාස්ටික් අපද්‍රව්‍ය රැගෙන ගොස් ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරන්නන්ට ඒවා ලබා දිය හැකිය.

ජපානයේ නිවැසියන්ට ඔවුන්ගේ නිවෙස්වල සිටම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි හා නොහැකි අපද්‍රව්‍ය වෙන් කිරීම සඳහා ඔවුන්ව දිරිමත් කරනු ලැබේ. ඒ සඳහා ඔවුන්ගේ අපද්‍රව්‍ය වෙනත් ප්ලාස්ටික් සමඟ මිශ‍්‍ර නොවීම පිණිස PET ප්ලාස්ටික් බෝතල් සඳහාත්, ඍජුෆෝම් ආහාර ඇසුරුම් සඳහාත් හා PET ප්ලාස්ටික් බෝතල් පියන් ආදී වශයෙන් වෙන් කිරීම සඳහා ඔවුන්ට විශේෂිත බඳුන් ලබා දී ඇත. එමෙන්ම පාරිභෝගිකයින් විසින් භාවිතා කරන ලද PET ප්ලාස්ටික් බෝතල් බැහැර කිරීම සඳහා සුපිරි වෙළෙඳසැල්වලට ලබා දී ඇති PET ප්ලාස්ටික් බෝතල් තීරුවලට කැපීමේ යන්ත‍්‍ර වැනි ක‍්‍රමවේද භාවිතා කිරීමට මෙන්ම ඔවුන්ව තවදුරටත් දිරිමත් කරනු පිණිස ඒ සඳහා ඔවුන්ට විශේෂ දීමනා පවා හිමි කර දීමට කටයුතු සලසා දී ඇත. ජපානයේ දැකිය හැකි මෙම ඉහළ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ අනුපාතය එහි පළාත් පාලන ආයතන විසින් ක‍්‍රියාත්මක කරන කසළ වෙන් කිරීමේ නීති සමඟ දැඩිව බැඳී පවතී. එම ඇතැම් නීති තදින් රට තුළ ක‍්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මෙම කසළ ගැටලූව විසඳීමට රජයෙන් පිළිතුරක් බලාපොරොත්තු වන නමුත් සත්‍ය වන්නේ දැනට පවතින යටිතල පහසුකම් හා ක‍්‍රමෝපායන් යල් පැන ගිය අකාර්යක්ෂම ඒවා වීමයි. මෙරට පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය සහ ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රය පිළිබඳව පවතින ඉතා දැඩි ප‍්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ඔවුන් තහනමක් පැනවුවද ‘පහසු විසඳුමක්’ බලාපොරොත්තුවෙන් පැනවූ එම තහනම නිසා එමගින් ලබා ගත හැකිව තිබූ දිගුකාලීන ආර්ථික හා පාරිසරික ප‍්‍රතිලාභ ඔවුන් නොසලකා හැර ඇත.

කාර්යක්ෂමව හා නිසි පරිදි කසළ වෙන් කිරීම සහ කළමනාකරණය කිරීමේ පද්ධතියක් සහතික කිරීමේදී පළාත් පාලන ආයතන ද ප‍්‍රධාන පාර්ශවකරුවෙක් වේ. එහිදී නිසි පරිදි කසළ වෙන් කිරීමේ ක‍්‍රමවේදයක් පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ දැනුවත්භාවය වැඩි කිරීමට සහ දැඩි නීති හා දඬුවම් පැනවීම තුළින් ඔවුන් ලබා දෙන සහයෝගය දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණ ක්ෂේත‍්‍රය සවිබල ගැන්වීමට ඉවහල් වනු ඇත. ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට මිනිසුන්ගේ ඇති උනන්දුව ද එයින් හොඳින් පිළිබිඹු වන නමුත් ගැටලූව ඇත්තේ කසළ එකතු කිරීමේ ප‍්‍රයත්නයන් තුළය.

එමනිසා, රටේ කසළ කළමනාකරණ ගැටලූව විසඳීම සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ප‍්‍රජාව සහ රජය දැඩි ස්ථාවරයක සිටීම අත්‍යවශ්‍ය වේ. තවද අපද්‍රව්‍ය කළමනාකරණ ප‍්‍රයත්නයන් ශක්තිමත් කිරීම ඉතා වැදගත් වන අතර එමඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය හා බැඳුණු ආර්ථිකයක් කරා පිවිසෙනු ඇත. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලූවට ඇති පහසු විසඳුමක් වන්නේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ පද්ධතියක් වෙතට නැවතත් ගෙන ඒමයි.

කෙසේවෙතත්, මීට ඉහත සඳහන් කළ පරිදි ගැසට් පත‍්‍රයක් මගින් එය මේ වන විට රට තුළ තහනම් කර ඇත. ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ද්‍රව්‍ය ආහාර ආශ‍්‍රිත ඇසුරුම්කරණයේදී භාවිතා කිරීමට අවස්ථාව ලබා දීමෙන් අප රටට ආර්ථිකමය වශයෙන් වැඩි ප‍්‍රතිලාභ සලසන තීරණාත්මක සාධකයක් වන ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා ඇති ඉල්ලූම තවදුරටත් ඉහළ නංවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

Hits: 147