අප්‍රේල් මාසයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි පිරිවැටුමේ 29% ක වර්ධනයක්

කොළඹ කොටස් හුවමාරුවෙහි සමස්ත වෙළෙඳ පොළ පිරිවැටුම මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසයේදී 29.43% ක වර්ධනයක් පෙන්නුම් කළ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි. මෙම කාර්ය සාධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොටස් හුවමාරුව මේ බව සඳහන් කර සිටියි.

ඒ අනුව අප්‍රේල් මාසයේදී සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 53ක් ලෙස සටහන්ව ඇති අතර, දේශීයව වාර්තා වූ පිරිවැටුම 64% ක වර්ධනයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලාංකික ආයෝජකයන් තුළ පවතින උනන්දුව පිළිබිඹු කරන බවද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මේ අතර, පසුගිය අප්‍රේල් මාසය නිමාවේදී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7,208.20 අගයේ සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් දර්ශකය ඒකක 2,869.25ක් ලෙස සටහන්ව ඇත. එසේම මාසය තුළ සිදු වූ ගනුදෙනුවල සාමාන්‍ය 22,037ක් ලෙස සටහන්ව ඇති අතර වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.2ක් බවට පත්ව තිබේ.

මේ අතර ප්‍රාථමික වෙළෙඳ පොළ තුළද ප්‍රාග්ධනය ඉහළයාමේ වර්ධනයක් අප්‍රේල් මාසය තුළදී පෙන්නුම් කර තිබෙන බවත්, ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මගින් සිදු කළ ණයකර නිකුතුව සහ ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් මගින් එම්පවර් පුවරුවෙහි සිදුකළ මූලික මහජන කොටස් නිකුතුවද හේතු වූ බව කොටස් හුවමාරුව සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම නිකුතු දෙක වෙතම පළමු දිනයේදීම අධිඉල්ලුමක් හිමි වූ අතර පිළිවෙලින් රුපියල් බිලියන 20ක් සහ රුපියල් මිලියන 56.25ක මුදලක් රැස් කරගැනීමට ඒවාට හැකි විය.

මීට අමතරව අප්‍රේල් මාසයේදී සිදුවූ වින්ඩ්ෆොර්ස් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමත් සමගින්ම එහි පළමු ගනුදෙනු දිනයේදීම රුපියල් මිලියන 531ක් වටිනා සමස්ත විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇත.

ඒ අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් අවසානය දක්වා විදේශයන් මගින් මිලදී ගත් කොටස්හි වටිනාකම රුපියල් බිලියන 17.1ක් ඉක්මවා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “අද වනවිට ප්‍රාග්ධන වෙළෙඳ පොළ තුළ සිටින ආයෝජකයන් සතුව මෙන්ම නිකුත් කරන්නන් සතුවත් එකසමාන මට්ටමේ විශ්වාසයක් පැවතීම ගැන අප සතුටට පත්වෙනවා. මෙය වසරේදෙවැනි කාර්තුව ආරම්භයේදීම වාර්තා කළ ඉතාමත් ධනාත්මක අවස්ථාවක්. ඒ වගේම පළමු කාර්තුව තුළ පෙන්නුම් කළ ගම්‍යතාවද මින් පිළිබිඹු කරනවා.” යනුවෙන් පවසා සිටියි.

Views: 120