2021 මුල් මාස හතරට සංචාරක පැමිණීම් 13,797ක් වෙයි

මේ වසරේ අප්‍රේල් මාසයේදි පැමිණි විදෙස් සංචාරකයන් 4,168 දෙනාද සමගින් වසරේ මුල් මාස හතර තුළ මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 13,797ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය පසුගිය වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් හා සැසඳීමේදී 97.3%ක පසු බැසීමකි.

රට තුළ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය ඇරඹීමත් සමගම සංචාරක පැමිණීම් තහනම් කෙරුණු 2020 මාර්තු 18 වැනිදා වනවිට මෙරටට පැමිණ සිටි සංචාරකයන් සංඛ්‍යාව 506,918ක් විය. 2020 අප්‍රේල් මාසයේදී මෙරටට කිසිදු සංචාරකයෙකු පැමිණීම සිදු නොවීය. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 393 දෙනෙකු පැමිණීම සිදු විය.

අධිකාරියෙහි දත්ත අනුව මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට වෙත සංචාරකයන් 1,682 දෙනෙකු පැමිණ තිබේ. එසේම පෙබරවාරි මාසයේදී එය 3,366ක් බවට ඉහළ ගොස් ඇත. එසේම මාර්තු මාසයේදී එය 4,581 දෙනෙකු බවට පත්ව තිබේ. කෙසේ වෙතත් මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම් හි අඩුවීමක් පෙන්නුම් කර ඇත.

අප්‍රේල් මාසයේදී සිදුව ඇති සංචාරක පැමිණීම්වලින් වැඩිම ප්‍රමාණය යුරෝපයෙන් හිමිව ඇත. එය 2,120ක් වන අතර 50.9%ක ප්‍රතිශතයකි. ආසියා සහ පැසිපික් කලාපයෙන් සංචාරකයන් 1,490ක් පැමිණ ඇති අතර එය 35.7%ක ප්‍රතිශතයකි. ඇමෙරිකානු කලාපයෙන් 416 දෙනෙකු පැමිණ ඇති අතර එය 10% ක ප්‍රතිශතයකි. මැදපෙරදිග කලාපය සහ අප්‍රිකාව වෙතින් පිළිවෙලින් සංචාරකයන් 86 දෙනෙකු සහ 56 දෙනෙකු පැමිණ ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 2.1%ක් සහ 1.3%ක් ලෙස සටහන්ව ඇත.

මේ අතරින් අප්‍රේල් මාසය තුළ වැඩිම සංචාරකයන් පැමිණි තනි රට වන්නේ ඉන්දියාවයි. එය සංචාරකයන් 796 කි. එසේම දෙවැනි වැඩිම සංචාරකයන් පිරිස වන 475ක් පැමිණ ඇත්තේ චීනයෙනි. මීට අමතරව කසකස්තානයෙන් සංචාරකයන් 440 දෙනෙකුද පැමිණ තිබේ.

එසේම 2021 ජනවාරි සිට අප්‍රේල් දක්වා මාස හතරක කාලය තුළදී මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට වන්නේ කසකස්ථානයයි. එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගනී. දෙවැනියට වැඩිම සංචාරකයන් පැමිණීමක් වාර්තා වන්නේ යුක්රේනයෙනි එය 19% ක ප්‍රතිශතයක් ගනී. මීට අමතරව ජර්මනියෙන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන්ගේ ප්‍රතිශත පිළිවෙලින් 8%ක අගයක් ගෙන තිබේ.

Visits: 156