ඉෂාරගේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් HNB හි විශාලතම තනි කොටස් හිමිකරුවා වෙයි

මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයෙකු වන, LOLC හෝල්ඩිංග්ස් සමූහයේ සභාපති ඉෂාර නානායක්කාර මහතාට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම ඊයේ (4දා) දිනයේදී මෙරට දෙවැනි විශාලතම පෞද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුවෙහි (HNB) විශාලතම තනි කොටස්හිමිකරුවා බවට පත්වූ බව වාර්තා වෙයි.

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සමාගම මගින් ඊයේ දිනයේදී හැටන් නැෂනල් බැංකුවෙහි කොටස් මිලියන 8.47ක් මිලදී ගැනීමත් සමගින්ම මෙම හිමිකාරීත්වයට පත්ව තිබේ. මෙහිදී කොටසක් රුපියල් 130 බැගින් මිලදී ගැනීම සිදු කර ඇත. එසේම එහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.1ක් ලෙස වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එන ඩේලිඑෆ්ටී පුවත්පත මෙම අත්පත් කරගැනීමත් සමගින්ම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සතුව පවතින HNB හි ඡන්ද හිමි කොටස් ප්‍රතිශතය 9.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පවසයි. එය හැටන් නැෂනල් බැංකුව හි තනි සමාගමක් සතු වැඩිම කොටස් ප්‍රතිශතයද වෙයි.

මෙතෙක් බැංකුවෙහි තනි විශාලතම තනි කොටස් හිමිකාරීත්වයක් පැවතියේ සේවක අර්ථසාධක අරමුදල වෙතයි. එය 9.75%ක ප්‍රතිශතයකි. මීට අමතරව අරමුදල් දෙකක් හරහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හැටන් නැෂනල් බැංකුවෙහි 13.35% ක කොටස් හිමිකාරීත්වයක් දරයි. එසේම මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතාද සිය මිල්ෆෝර්ඩ් එක්ස්පෝර්ට්ස් (සිලෝන්) ලිමිටඩ්, ස්ටෙසෙන් එක්ස්පෝර්ට්ස් සහ ඩිස්ටිලරීස් කම්පැනි සමාගම් හරහා බැංකුවෙහි 17.83%ක කොටස් හිමිකාරීත්වයක් දරයි.

පුවත්පත පවසන ආකාරයට මාසයක පමණ කාලයක් ඇතුළතදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් මගින් මෙලෙස හැටන් නැෂනල් බැංකුවේ 9.9%ක කොටස් ප්‍රතිශතය අත්පත් කරගෙන තිබේ. මෙහිදී වැඩිමනක් විදේශීය ආයෝජකයන් අලෙවි කළ කොටස් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් මිලදී ගෙන ඇත.

වාර්තා පවසන ආකාරයට මාර්තු මාසයේ අවසන් සතියේ සිට අප්‍රේල් මාසයේ අවසානය දක්වා කාලය තුළදී පමණක් විදේශ කොටස්හිමිකරුවන් රුපියල් බිලියනයක් පමණ වටිනා කොටස් මිලියන 8ක් අලෙවි කර තිබේ.

එසේම මෙලෙස 9.9%ක කොටස් හිමිකාරීත්වයක් සම්පූර්ණ කිරීම සඳහා වන අවසන් 2%ක ප්‍රතිශතයක කොටස් මිලදී ගැනීම ඊයේ දිනයේදී සිදුව තිබේ. මෙහිදී ආසන්නතම HNB කොටස් අලෙවි කළ විදේශීය කොටස්කරුවා ලෙස නොර්ගෙස් බැංකුව හඳුනාගෙන ඇත.  

පුවත්පත පෙන්වා දෙන ආකාරයට හැටන් නැෂනල් බැංකුව සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී අතර සිදුව ඇති මෙම ගනුදෙනුවල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් බිලියන 5කි.

එසේම දත්ත වාර්තාවලට අනුව පසුගිය ජනවාරි මාසයේදී හැටන් නැෂනල් බැංකුව සතුව තිබූ විදේශීය කොටස් හිමිකාරීත්වය 22% දක්වා 18%ක් අඩු වී තිබේ.  

ඒ අනුව මේ සමගම බ්‍රවුන්ස් සමූහය යළිත් හැටන් නැෂනල් බැංකුව වෙත අවතීරණවීමක්ද සනිටුහන් කර ඇතැයි සඳහන් වෙයි. හැටන් නැෂනල් බැංකුව පිහිටුවුණේද බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි මගිනි. කෙසේ වෙතත් ඉෂාර නානායක්කාර මහතා බ්‍රවුන්ස් සමූහයේ පාලනය තමන් සතුකර ගැනීමෙන් අනතුරුව 2000 වසරේදී බැංකුව සතුව තිබූ කොටස් අලෙවි කිරීමක් සිදු කර තිබේ.

ඉෂාර නානායක්කාර මහතා විසින් සිදු කරන ලද මෙම අත්පත්කර ගැනීමත් මගින්ම LOLC සහ බ්‍රවුන්ස් සමූහය සතු වැඩි හිමිකාරීත්වයක් සහිත මෙරට බලපත්‍රලාභි බැංකු සංඛ්‍යාව දෙකක් බවට ඉහළ යයි.

දැනටමත් සෙලාන් බැංකුවෙහි 23%ක කොටස් හිමිකාරීත්වයක් බ්‍රවුන්ස් සමාගම සහ LOLC සමාගම වෙත හිමිව පවතී. එම හිමිකාරීත්වයේ ප්‍රතිශතය පිළිවෙලින් 13.8%ක් සහ 9.36% කි.

Views: 7590