COVID-19 හමුවේ ශක්තිමත්ව පැවැති බැංකු අංශය මත වන අහිතකර බලපෑම් මහ බැංකුව පහදයි

COVID-19 වසංගතයෙන් පැන නගින ලද අභියෝග මධ්‍යයේ වුවත් මෙරට බැංකු අංශය 2020 වසරේදී ශක්තිමත්ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගියදා නිකුත් කෙරිණි ශ්‍රී ලංකා මහ බැංකුවෙහි 2020 වාර්ෂික වාර්තාව තුළ මේ පිළිබඳව සඳහන් වෙයි. විශේෂයෙන්ම ණය හා අත්තිකාරම්, ආයෝජන සහ තැන්පත් පදනම් අනුව බැංකු අංශය මෙලෙස සතුටුදායක වර්ධනයක් පෙන්නුම් කළ බව මහ බැංකුවේ අදහස වී තිබේ.

එහිදී ණය සහ අත්තිකාරම්වල වාර්ෂික වර්ධනය 11.9%කි. එසේම ආයෝජනවල වාර්ෂික වර්ධනය 40%ක් ලෙස සටහන්ව ඇත. තැන්පතුවල වාර්ෂික වර්ධනය 21.6% කි. මීට අමතරව ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (දේශීය මෙහෙයුම් අංශය) 37.3%කින් වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත් දළ අක්‍රීය ණය අනුපාතය 4.9% කින් ඉහළ ගොස් ඇති අතර, ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 16.5% කින් පහත වැටී තිබේ.

මේ අතර, මෙම වාර්ෂික වාර්තාව තුළ COVID-19 නිසා බැංකු අංශය වෙත එල්ල වී ඇති බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව, “කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ණය ගැනුම්කරුවන්ගේ ආදායම් සහ ඉපැයීම් ධාරිතාවන් අහිතකර ලෙස බලපෑමට ලක්ව ඇති නිසා ඔවුන්ට තම ණය ආපසු ගෙවීම අසීරු වී තිබේ. එසේම ඇතැම් ණය ගැනුම්කරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව දිගු කාලීනව පිරිහීමට ලක්විය හැකි නිසා බැංකු අංශයේ ණය ගුණාත්මකභාවය, ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ස්වභාවය හා වේගය මත රඳා පවතී.” යනුවෙන් පවසා සිටියි.

ඒ අනුව කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් බැංකුවල ණය වර්ගීකරණය, අපේක්ෂිත ණය හානි, ප්‍රතිපාදන, ණය අවදානම් බර තැබීම, සහ ප්‍රාග්ධනය කෙරෙහි ඇතිවන බලපෑම තක්සේරු කිරීම අපහසු වී ඇතැයිද මහ බැංකුව පෙන්වා දෙයි.

“රජයන් සහ නියාමන බලධාරීන් විසින් බැංකු වෙත ණය ගැනුම්කරුවන්ට ණය ගෙවීම කල් දැමීම සහ ණය සහන ලබාදීම අනිවාර්යය කිරීම හෝ දිරි ගැන්වීම නිසා පොලී සහ මූලික මුදල් ආපසු ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් බැංකුවල මුදල් ප්‍රවාහන සහ ද්‍රවශීලතා තත්ත්වයන් කෙරෙහි අහිතකර බලපෑම් ඇති විය හැකියි.” මහ බැංකුව පවසයි.

ඒ අනුව අඩු ආදායම් ප්‍රවාහ සහ ඉහළ අලාභ බැංකුවල ලාභදායිත්වයට අහිතකර ලෙස බලපානු ඇති අතර ප්‍රාග්ධන අනුපාතයද අඩුකරනු ඇතැයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Views: 537