“පාර්ශ්වකරුවන්ට ප්‍රතිලාභ දීමේදී නීතිවිරෝධී දුම්වැටි සැලකිය යුතු අවදානමක් ඇති කරනවා” – CTC සභාපති

සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමේ පාර්ශ්වකරුවන් වෙත අදාළ වටිනාකම් ලබා දීමේදී ඇති කැපී පෙනෙනම අවදානමක් ලෙස රට තුළ පවතින නීතිවිරෝධී දුම්වැටි වෙළෙඳාම හඳුන්වා දිය හැකි බව එම සමාගමේ සභාපති සුරේෂ් ෂා මහතා පවසයි.

2020 වසර සඳහා වන සමාගමේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් සභාපතිවරයා මේ බව පවසා තිබේ. මෙම වාර්ෂික වාර්තාව තුළ සඳහන්ව ඇති ආකාරයට 2020 වසරේදී සමාගම මගින් රජය වෙත ගෙවා ඇති සමස්ත බදු ආදායම රුපියල් බිලියන 110ක් වන අතර එය රජයේ සමස්ත බදු ආදායමෙන් 8%ක් ලෙසද සටහන්ව තිබේ.

“2020 වසරේදී අප සමාගම මුහුණ දුන් අභියෝග අතරට එක් වූ තවත් කාරණාවක් වුණේ මේ නීතිවිරෝධී දුම්වැටි වෙළෙඳාමයි. රට තුළ තවදුරටත් වර්ධනය වෙමින් පවතින මෙම නීති විරෝධී දුම්වැටි වෙළෙඳ පොළ සිලෝන් ටොබැකෝ කම්පැනිහි පාර්ශ්වකරුවන් වෙත ලබා දෙන වටිනාකම් උත්පාදනය කිරීමේ හැකියාව වෙත ඉහළ අවදානමක් ඇති කරනවා.” සභාපතිවරයා පවසයි.

විශේෂයෙන්ම මෙම නීතිවිරෝධී දුම්වැටි වෙත බද්දක් එකතු නොවීම නිසා, අද වනවිට දුම්වැටි මිල ඉහළ යාමේ පීඩනයට පත්ව සිටින පාරිභෝගිකයන් වෙත එය මිල අඩු විකල්පයක් බවට පත්ව තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. ඒ අනුව මෙය රජයේ බදු ආදායම් වෙත කැපී පෙනෙන හානියක් බවට පත්ව තිබෙන බවත් ඔහු පවසයි.

“මෙම නීතිවිරෝධී වෙළෙඳාම රටෙහි නීතියට පිටින් ක්‍රියාත්මක වීම නිසා ශ්‍රී ලංකාව තුළ මෙම දුම්කොළ කර්මාන්තය සඳහා පනවා ඇති සියලුම නියාමන නීතිරීති මෙම ජාවාරම්කරුවන් විසින් මඟහැරවීමක් සිදු කරනවා. ඒ අනුව මෙම දුම්වැටි තුළ සටහන් විය යුතු සෞඛ්‍ය අනතුරු ඇඟවීම් කිසිවක් සටහන්  නොකරන අතර, ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ තරුණ ප්‍රජාවයි.”

මේ තත්ත්වයත් සමගින්ම අදාළ නීතිවිරෝධී දුම්වැටි මගින් රජයේ බදු ආදායම අඩු වෙනවාවට අමතරව, මහජන සෞඛ්‍ය වෙනුවෙන් දක්වන දායකත්වය වෙතද හානි සිදු වන බව CTC සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. ඒ අනුව මෙම නීතිවිරෝධී දුම්වැටි පාලනය සඳහා වඩාත් ශක්තිමත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාරාමුවක් ඉදිරිපත් විය යුතුව ඇතැයිද ඔහු රජය වෙත පෙන්වා දෙයි.

“මෙම කාරණාව පිළිබඳ මහජනතාව මීට වඩා දැනුවත් කළ යුතුයි. ඒ වගේම මෙම නීතිවිරෝධී දුම්වැටි තවදුරටත් බෙදාහැරීම වැළැක්විය යුතුයි. මේ නීතිවිරෝධී දුම්වැටි වෙළෙඳාම නැවැත්වීම රටෙහි බදු ආදායම තිරසාරව ඉහළ නැංවීමට මෙන්ම නීත්‍යානුකූල කර්මාන්තයක හිමිකම ආරක්ෂා කරගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බවත් සිලෝන් ටොබැකෝ කම්පැනි දැඩිව විශ්වාසය කරනවා.” යනුවෙන්ද සභාපති සුරේෂ් ෂා මහතා සඳහන් කර තිබේ.

මේ අතර ලංකා දුම්කොළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නඩෙල් සලෙම් මෙම වාර්ෂික වාර්තාව වෙත සටහනක් තබමින්, නිතී විරෝධි දුම්වැටි වෙළෙඳපොළ හේතුවෙන් 2020 වසරේ දී රජයට රු. බිලියන 38 ක බදු ආදායමක් අහිමි වී ඇති බව පවසා සිටියි.

esearch Intelligence Unit (RIU) විසින් නිකුත් කරන ලද වාර්තාවක් උපුටා දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

Visits: 417