නුෂාඩ් පෙරේරා රජයේ සේවයෙන් ඉවත් වෙයි – යළි පෞද්ගලික අංශයට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා මහතා සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙන බව මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව යළිත් සුපුරුදු පරිදි පෞද්ගලික අංශය වෙත සම්බන්ධ වෙන බවද ඔහු සඳහන් කර තිබේ.

මෙරට පෞද්ගලික අංශයේ කැපී පෙනෙන අලෙවි වෘත්තිකයෙකු වූ නුෂාඩ් පෙරේරා මහතා මීට පෙර ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන අලෙවිකරණ නිලධාරියා ලෙස කටයුතු කළ අතර, ඩයලොග් ටීවී සමාගමේ ආරම්භකප්‍රධාන විධායක නිලධාරියාද විය.

2020 වසරේ දෙසැම්බර් මාසයේදී ඒ මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් වීම් ලැබුවේය. එහෙත් ඔහු සභාපතිවරයා ලෙස ධුරය දරද්දී මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක් සම්බන්ධයෙන් එම ආයතනය විසින් ගත් තීරණ පිළිබඳව යම් ආන්දෝලනාත්මක කතාබහක් ඇති විය.

එසේම ප්‍රමිති ආයතනයේ සභාපති ධුරයට පෙරාතුව නුෂාඩ් පෙරේරා මහතා 2020 ජනවාරි මාසයේ සිට ලංකා සතොස සමාගමේ සහ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. එහිදීද මෙරටට ආනයනය කෙරුණු සීනි හා සම්බන්ධ බදු වංචාව පිළිබඳව කතාබහක් ඇති විය.

එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් වෙළෙඳ අමාත්‍යවරයා විසින් ඔහු සභාපති ධුරයෙන් ඉවත් කිරීම සිදුවූ බව මාධ්‍ය වාර්තාපළ විය. එහෙත් තමා එම ධුරයෙන් ඉවත් වූ බව පෙරේරා මහතා සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් සතොස සමාගම තුළ ආසන්න කාලසීමාවේදී සිදුවුණු දැවැන්ත සාර්ථක වෙනස්කම් සඳහා නුෂාඩ් පෙරේරා මහතාගේ අලෙවිකරණ හැකියාව වැඩිවශයෙන් දායක වූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

අලෙවිකරණය පිළිබඳ වරලත් ආයතනයේ සාමාජිකයෙකු වන නුෂාඩ් පෙරේරා මහතා, ලෙයිසෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් එම්.බී.ඒ. උපාධියක්ද හිමි කරගෙන තිබේ. එසේම ඒ මහතා 2001 වසරේදී වරලත් අලෙවිකරුවා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. මීට අමතරව 2007 වසරේදී ඒෂියා බ්‍රෑන්ඩ් කොංග්‍රස් මගින් පිරිනමන ‘ග්ලෝබල් බ්‍රෑන්ඩ් ලීඩර්ෂිප් අවෝර්ඩ්’ සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවේය.

1998 වසරේදී ඩයලොග් ආසිආටා සමාගම හා සම්බන්ධව ඇති නුෂාඩ් පෙරේරා මහතා පුරා වසර 13ක කාලයක් ඩයලොග් සමාගමේ ජ්‍යෙෂ්ට කළමනාකරණ කණ්ඩායමේ සහ අලෙවිකරණ ප්‍රධානියා ලෙසින්ද කටයුතු කර තිබේ.

සතොස ආයතනය හා සම්බන්ධ වනවිටත් ඔහු ඩයලොග් ආයතනයේ කටයුතු කරමින් සිටියේය. එසේම ඔහු විසින් සතොස සභාපති ධුරය භාර ගත්තේ වැටුප් නොගන්නා ගරුතනතුරක් ලෙස බවට මුලදී වාර්තා විය. ඒ අනුව නැවත වරක් ඔහු ඩයලොග් ආසිආටා සමාගම වෙත සම්බන්ධවීමේ වැඩි අවස්ථාවක් පවතින බව ආරංචි මාර්ග පවසයි.

Views: 210