විදුල්ලංකා රු.බි. 1ක ආයෝජනයකින් සිය විදුලිබල උත්පාදනය ඉහළ නැංවීමට යයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා සමාගම ශ්‍රී ලංකාව තුළ සිදු කරන සිය සූර්ය විදුලිබල උත්පාදනය ඉහළ නැංවීම සඳහා 2021/22 මූල්‍ය වර්ෂය තුළදී ආසන්න වශයෙන් රුපියල් බිලියනයක මුදල් ආයෝජනයක් සිදු කිරීමට සුදානමින් සිටින බව පවසයි.

මේ සම්බන්ධයෙන් අද පළ වුණු ඩේලි නිවුස් පුවත්පත වෙත අදහස් දක්වන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීන් රියාස් සන්ගානි මහතා, “අපි ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සූර්ය බලශන්ති ක්ෂේත්‍රය වෙත ක්‍රියාකාරීව වඩා වැඩි ආයෝජන සිදු කරනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව්හි ඉදිකරන මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් බලාගාර ව්‍යාපෘතියත් ඒ අතර පවතිනවා. මෙහි සමස්ත ආයෝජනය රුපියල් බිලියන 1.4ක්. එහිදී අප සමාගම වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සහ හයිඑනර්ජි සර්විසස් යන සමාගම් සමග එක්වී මේ ව්‍යාපෘතිය සිදු කරනවා.” යනුවෙන් පවසා සිටියි.

මෙම එකඟතාවට අනුව අදාළ සමාගම් තුන මෙම ආයෝජන මුදල එක සමානව බෙදී යන ආකාරයෙන් යෙදවීමට නියමිතව තිබේ.

එසේම විදුල්ලංකා සමාගම යොමු වන දෙවැනි ව්‍යාපාරය රුපියල් මිලියන 130ක ආයෝජනයකින් මොනරාගල ප්‍රදේශය තුළ ඉදි කෙරෙන මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරය බවත් ඔහු මෙහිදී පවසා තිබේ. මෙම ව්‍යාපෘතිය 2021 අගෝස්තු මාසයේදී පමණ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ඔහු සඳහන් කර තිබේ.

එසේම හොරණ ප්‍රදේශය තුළද සිය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාතියක් ආරම්භ කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර ලබන වසරේදී සිදුකරන මෙම මෙම ව්‍යාපෘතිය හරහා මෙගාවොට් 2ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරේ. මෙහි ආයෝජනය රුපියල් මිලියන 250කට ආසන්න වෙයි.

කුඩා ජල විදුලි බලාගාර මෙහෙයුම් සිදුකරමින් ආරම්භ කළ විදුල්ලංකා සමාගම පසුව ඩෙන්ඩ්‍රෝ සහ ජල විදුලි ව්‍යාපෘති වෙතද විවිධාංගීකරණය විය. එම සමාගම 2005 වසරේදී මෙරට පළමු ජල විදුලිබල නිෂ්පාදන සමාගම ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වූ අතර 2008 වසරේදී ප්‍රධාන පුවරුවෙහි ලැයිස්තුගතවීම සිදු විය.

ප්‍රධාන විධායක නිලධාරී සන්ගානි මහතා පවසන ආකාරයට විදුල්ලංකා සමාගම මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ජලවිදුලි බල ව්‍යාපෘති 10ක ඉදිකිරීම් නිමා කිරීමට සමත්ව සිටියි. මේවා හරහා ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 25 කට ආසන්න වෙයි.

ඒ අනුව අද වනවිට සමාගම වඩාත් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරන බවත්, වර්තමානයේදී සිය විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 36.75ක් සහ ගිගාවොට් පැය 144ක සමස්ත බලශක්ති සැපයුමක් සහිත බවත් පවසයි.

මේ අතර සමාගම මගින් විදේශයන්හිදී ක්‍රියාත්මක කරන කුඩා ජලවිදුලි බලාගාර ව්‍යාපෘති පිළිබඳව අදහස් දක්වා ඇති සන්ගානි මහතා, එහි පළමු ව්‍යාපෘතිය ලෙස 2015 වසරේදී උගන්ඩාව තුළ ඩොලර් මිලියන 11.5ක ආයෝජනයක් සිදු කරමින් මෙගාවොට් 6.5ක බලාගාරයක් ස්ථාපිත කළ බව පවසයි.

එසේම 2020 වසර මැදදී එක්සත් ජනපද ඩොලර් මිලියන 11ක ආයෝජනයකින් මෙගාවොට් 6.5ක දෙවැනි ජලවිදුලි බලාගාරය ආරම්භ කිරීමටත් ඔවුන්ට හැකි වී තිබේ.

මෙම නිපදවෙන විදුලිබලයද මේ වනවිට උගන්ඩාවේ ජාතික විදුලිබල පද්ධතිය වෙත සම්බන්ධ කෙරී ඇති බවත්, පසුගිය වසරේ පැවැති කොවිඩ්-19 වසංගතයේ සීමා කිරීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින් මෙහි ඉදිකිරීම් සිදුවුණු බවත් ප්‍රධාන විධායක නිලධාරී සන්ගානි පවසයි.

“ඒ වගේම අපි දැන් අපගේ මෙම කුඩා ජලවිදුලි බලාගාර පියසටහන සැම්බියාව සහ මලාවි යන රාජ්‍යයන් වෙත පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. එම වෙළෙඳ පොළ තුළ හොඳ වර්ධනීය අවස්ථාවන් පවතින බව අපිට පෙනෙනවා. ඒ වගේම මෙම රටවල් තුළ සූර්ය බලාගාර ඉදිකිරීමටත් අපි අනාගතයේදී සැලසුම් කරනවා.” ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Visits: 209