‘Tikiri Toys’ කාබනික සහතිකකරණය හිමි වූ ලොව ප්‍රථම රබර් සෙල්ලම් භාණ්ඩ සන්නාමය වෙයි

ස්වාභාවික සෙල්ලම් බඩු සම්බන්ධයෙන් ලොව පුරා ජනප්‍රිය ශ්‍රී ලාංකික සන්නාමයක් වන ‘Tikiri Toys’, Global Organic Latex Standard (GOLS) සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ ලොව ප්‍රථම කාබනික (Organic) රබර් සෙල්ලම් බඩු නිෂ්පාදන සන්නාමය බවට පත්වී තිබේ.

සෙල්ලම් බඩු කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවක් අනුව හඳුන්වා දී ඇති මෙම සහතිකකරණය පිරිනමනු ලබන්නේ Control Union Certifications මගිනි. පුරෝගාමී සහතිකකරණයක් වන මෙය, කාබනික රබර් කිරි (Organic latex) සම්බන්ධ ලොව ප්‍රථම ප්‍රමිතිකරණය ලෙස සැලකේ. Global Organic Textile Standard (GOTS) සහතිකකරණයට සමාන සහතිකකරණයක් වන මෙය, නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම භාවිතා කරනු ලබන රබර් කිරිවල මූලාශ්‍රය හඳුනා ගැනීමේ හැකියාව තහවුරු කරයි.

Tikiri Toys ශ්‍රී ලංකාවේදී සැලසුම් කර නිෂ්පාදනය කරනු ලබන්නේ මෙරට ප්‍රමුඛතම කාබනික (Organic) සෙල්ලම් බඩු නිෂ්පාදකයා වන DSL Lanka (පුද්.) සමාගම විසිනි. 1991 වසරේදී සාමාන්‍ය මට්ටමේ නිෂ්පාදන ආයතනයක් ලෙස ආරම්භ වූ එය මේ වනවිට ආචාරධර්ම නියමයන් අනුව සපයාගත් අමුද්‍රව්‍ය යොදාගෙන කුඩා දරුවන් සඳහා කාබනික (Organic) සෙල්ලම් බඩු නිපදවන සමාගමක් ලෙස ලොව පුරා කීර්තියක් දිනා සිටී.

Tikiri Toys යනු එම සමාගමේ ශ්‍රී ලාංකික සන්නාමය වන අතර එය 2013 වසරේදී දියත් කරන ලදි. එහි Meiya & Alvin නිෂ්පාදන එකතුව මේ වනවිට රටවල් 56 කට අධික සංඛ්‍යාවක අලෙවි කරනු ලබන අතර ලොව පුරා දහස් ගණනක් දරුවෝ ඒවා ආශාවෙන් පරිහරණය කරති. එමෙන්ම පවුලේ උරුමයකින් ආභාසය ලබමින් DSL Lanka සමාගම නිර්මාණය කර ඇති අලංකාර අත්කම් බෝනික්කන්  එකතුවද ජාත්‍යන්තර වශයෙන් අතිශයින් ජනප්‍රිය වී තිබේ.

“අපගේ උත්සාහය නිසා ජාත්‍යන්තර සෙල්ලම් බඩු නිෂ්පාදකයන් වෙනුවෙන් නව පූර්වාදර්ශයක් නිර්මාණය වී තිබීම අපට මහත් සතුටක්. අපගේ නිෂ්පාදන සඳහා 100% ක්ම පිරිසිදු කාබනික (Organic)  රබර් භාවිතා කිරීමට අප තුළ පවතින උනන්දුව නිසා අපට මෙම පිළිගැනීම හිමිකර ගැනීමට හැකිවී තිබෙනවා. ඊට අමතරව කපු වර්ග සියල්ලත් නිසි ආචාරධර්ම නියමයන් අනුව සපයාගනු ලබන අතර, අපගේ සෙල්ලම් බඩු සියල්ල ස්වාභාවිකව දිරායන සුලුයි.

“කුඩා දරුවන්ගේ සංවර්ධනය ඉලක්ක කරගෙන Tikiri Toys නිපදවා තිබෙනවා. මෙහිදී අපගේ වගකීම දෙ-ආකාරයි. එක් අතකින් අපගේ නිෂ්පාදන දරුවන්ට සුරක්ෂිත ලෙස භාවිතා කළ හැකි බවටත්, අනෙක් අතින් අපගේ සෙල්ලම් බඩු වලින් පරිසරයට හානියක් නොවන බවටත් තහවුරු කරගැනීමට අප හැකි උපරිමයෙන් කටයුතු කරනවා.” DSL Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මනෝ ෂෙරිෆ් මහත්මිය පවසයි.

සුරක්ෂිතතාව හා තිරසාරත්වය සම්බන්ධයෙන් Tikiri Toys අනුගමනය කරන දැක්ම එහි සෙල්ලම් බඩු වල ආයුකාලය පුරාම අදාළ වේ. ශ්‍රී ලංකාවේ කාබනික (Organic)  ලෙස සහතික ලත් කුඩා පරිමාණ වගාවන් වෙතින් රබර් කිරි ලබාගන්නා බැවින් එම සියලුම සෙල්ලම් බඩු පිරිසිදු හා ස්වාභාවික බවටත්,ආරක්ෂාව අතින් ගත්විට ළදරුවන් හා කුඩා දරුවන්ගේ භාවිතයට සුදුසු බවටත් තහවුරු කළ හැක. 

එසේම සෙල්ලම් බඩු වල තිරසාරත්වය ඉහළම මට්ටමින් පවත්වා ගැනීම සම්බන්ධයෙන්ද සමාගම විශාල අවධානයක් යොමුකරයි. එහිදී සෙල්ලම් බඩු වල ඇතුළත පිරවීම සඳහා භාවිතා කරනු ලබන ද්‍රව්‍ය නිපදවා ඇත්තේ ප්‍රතිචක්‍රීයකරණ කරන ලද ප්ලාස්ටික් බෝතල් වලින් වන අතර එය හරිතාගාර වායු විමෝචනය අවම කරන පියවරකි. මෙය සාමාන්‍යයෙන් හොඳින් වියළීම සිදු නොවන, පුස් බැඳීමට වැඩි ඉඩක් ඇති ස්වාභාවික පිරවුම් වෙනුවට භාවිතා කෙරෙන ඉතා හොඳ විකල්පයක් වේ.

Views: 104