මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට විශේෂ වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් සංවිධානය කළ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ ප‍්‍රධාන විද්වත් සමුළුවේ දෙවන රැස්වීම පසුගියදා සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා,මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා, SLGJA සභාපති අහ්සාන් රිෆායි සහ ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේසභාපතිනිය කිමාලි ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වය උදෙසා ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයසමග අත්වැල් බැඳගැනීම අරමුණු කරගත් මෙම අවස්ථාවට SLGJA විධායක සාමාජිකයන්,ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA)නියෝජිතයන් හා දේශීය මැණික් ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වූහ.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය සහ සංචාරක ක්ෂේත‍්‍රය එක්ව මෙලෙස අත්වැල් බැඳගැනීමෙන් අප රටේ මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදන මිලදී ගැනීමේ ආර්ථිකමය ශක්තියකින් හෙබි ධනවත් ඉහළ පෙළේ සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගත හැකිය.

වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමයක් උපයාගත හැකි මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය මෙරටට විදේශ විනිමය රැගෙන එන විශාලතම මූලාශ‍්‍රයකි. අනපේක්ෂිත ලෙස සිදුවූ මෙරට සංචාරක ක්ෂේත‍්‍රයේ පසුබෑම යථා තත්ත්වයට පත්කරලීම වෙනුවෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයට සුවිසල් මෙහෙවරක් සිදු කළ හැකිය.

SLGJA සභාපති අහ්සාන් රිෆායි මහතා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ කාර්ය සාධක කමිටු රැස්වීමේදී අදහස් දක්වමින් “පරම්පරා ගණනාවක් තිස්සේ අපේ රටෙන් හමුවන නිල් මැණික් ඇතුළු මැණික් සම්පතට ලෝකයේ ඉහළ පිළිගැනීමක් ලැබී තිබෙනවා. ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමග එක්ව ප‍්‍රවර්ධන කටයුතු ඇරඹීමට හැකිවීම අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ දියුණුවට ඉමහත් ශක්තියක්. මැණික් ආශ‍්‍රිත නිෂ්පාදනයන්ට විශේෂ උනන්දුවක් දක්වන විදේශිකයන් ශ්‍රී ලංකාවේ නිල් මැණික් කෙරෙහි ආකර්ෂණය වන ආකාරයෙන් සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හරහා අපේ රටේ සංචාරක ක්ෂේත‍්‍රය ශක්තිමත් කළ හැකිය.”යැයි පැවසීය.

සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් “අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය රැකගැනීමත් ප‍්‍රවර්ධනය කිරීමත් සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අප සියළුදෙනාගේ වගකීමක්. අපේ රටේ සුන්දරත්වය ප‍්‍රවර්ධනය කරමින් සංචාරකයන් මෙරටට ආකර්ෂණය කරගැනීමේහිලා අප ක‍්‍රියාත්මක කොට ඇති වැඩපිළිවෙල තුලදී මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයදප‍්‍රවර්ධනය වන ආකාරයෙන් විශේෂයෙන් කටයුතු කිරීමට අප සැලසුම් සකස්කොට තිබෙනවා.”යැයි පැවසීය.

ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය වෙනුවෙන් එහි සභාපතිනිය කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය සිය අදහස් දක්වමින් සංචාරක ක්ෂේත‍්‍රයත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයත් එකිනෙක ඒකාබද්ධ වෙමින් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළාය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය, ශ්‍රී ලංකාවේ සංචාරක ප‍්‍රවර්ධනය උදෙසා නිර්මාණය කරමින් පවතින tourism travel app තුලදී ශ්‍රී ලංකාවේ බලපත‍්‍රලාභී සියළු මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගේ තොරතුරු ඇතුලත් කළ හැකි බවත් එහි ඇති ‘places to visit’ හරහා එම අලෙවිසැල් පිහිටි ලිපිනයන් හා තොරතුරු ලබාගැනීමේ පහසුකම සලසා දිය හැකි බවත් පැවසීය. 

මැණික් හා ස්වර්ණාභරණ ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය සම්බන්ධ ප‍්‍රධාන විද්වත් සමුළුවේ අදහස් දක්වමින් “මැණික් හා ස්වර්ණාහරණ ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා විශේෂ අවධානයක් යොමු කළ ගරු සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මැතිතුමාටත් එතුමාගේ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයටත් මා බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. එහිදී අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණුවට සමගාමීව සංචාරක ව්‍යාපාරයේ වර්ධනයත් සිදුවන නිසා මේ සමග රැඳී සිටින සියළුම පාර්ශව වලට ප‍්‍රතිලාභ රැසක් හිමිවෙනවා.”යැයි පැවසීය.

Views: 62