එයිට්කන් ස්පෙන්ස් සමාගම සන්ෂයින් හෝල්ඩිංග්ස්හි Waltrim Energy මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම මෙරට පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සමාගමක් වන Waltrim Energy Ltd සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වයක් අද දිනයේදී අත්පත් කරගත් බව නිවේදනය කර සිටියි. මෙහිදී රුපියල් මිලියන 900ක මිලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ.

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට Waltrim Energy Ltd සමාගමෙහි කොටස් හිමිකරුවන් සමගින් පැමිණි එකඟතාවකට අනුව මෙම අත්පත් කරගැනීම සිදුව ඇත.

සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සීමාසහිත සන්ෂයින් එනර්ජි පෞද්ගලික සමාගම යටතේ මෙම Waltrim Energy Ltd සමාගම ක්‍රියාත්මකව පැවතුණි.

මෙම Waltrim Energy Ltd සමාගම මගින් අද වනවිට නුවරඑළියේ පිහිටි ජලවිදුලි බලාගාර තුනක මෙහෙයුම් පවත්වාගෙන යයි. මෙම බලාගාර තුනෙහි සමස්ත ධාරිතාව මෙගාවොට් 6.6ක් බව සඳහන් වෙයි.

මෙහිදී Waltrim Energy Ltd සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත අනුබද්ධ සමාගම් තුනක් වන සීමාසහිත Waltrim Hydropower (පෞද්) සමාගම, සීමාසහිත Upper Waltrim Hydropower (පෞද්) සමාගම සහ සීමාසහිත Elgin Hydropower (පෞද්) සමාගම යන සමාගම් යටතේ මෙම විදුලි බලාගාර පවත්වාගෙන ගොස් තිබේ.

සුප්‍රසිද්ධ ව්‍යාපාරික හැරී ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් එයිට්කන් ස්පෙන්ස් පීල්සී සමාගම මේ වනවිට සංචාරක, නාවික සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහන, උපායමාර්ගික අයෝජන සහ සේවා යන අංශ යටතේ සිය මෙහෙයුම් දියත් කරයි.

ඒ අතරින් උපායමාර්ගික ආයෝජන යටතේ එම සමාගම බලශක්ති උත්පාදනය සඳහාද සිය ආයෝජන සිදු කර තිබේ. ඒ අනුව අද වනවිට එම ආයෝජන යටතේ තාප, ජල සහ සුළං විදුලි බලාගාර සිය සමාගම සතුව පවතින බවත් ඒවායේ නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතිය වෙත සම්බන්ධ කෙරෙන බවත් සමාගම පවසයි.

එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගම සඳහන් කරන ආකාරයට පරිසරහිතකාමී බව, ගුණාත්මක බව මෙන්ම සේවක සෞඛ්‍ය සහ ආරක්ෂාව යන කාරණා සම්බන්ධයෙන් ගෝලීයව පිළිගැනීමට ලක් වුණු පළමු පෞද්ගලික අංශයේ විදුලි බල උත්පාදන සමාගමද වෙයි.

පසුගියදා කෙරවලපිටියේදී විවෘත කෙරුණු ඝන අපද්‍රව්‍ය හරහා විදුලිබලය උත්පාදනය කිරීමේ බලාගාරය ඉදිකිරීමද එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමාගමේ පරිපාලිත සමාගමක් වන වෙස්ටර්න් පවර් කම්පැනි සමාගම මගින් සිදු කෙරුණකි.

Views: 535