ක්‍රිස්වර්ල්ඩ් සමාගමේ IPO නිකුතුව ගැන දැනුවත් කිරීමක් අප්‍රේල් 09 දා

කොළඹ කොටස් හුවමාරුවෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ලැයිස්තුගතවීම සඳහා ඇති Empower පුවරුව තුළ ලැයිස්තුගත කෙරෙන පළමු සමාගම වන ක්‍රිස්වර්ල්ඩ් (Chrissworld) සමාගම ඒ පිළිබඳව දැනුවත් කිරීමේ අන්තර්ජාල වැඩසටහනක් පවත්වන බව පවසයි.

අප්‍රේල් 09 වැනිදා පස්වරු 3.00 සිට පස්වරු 4.00 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමතව තිබේ. අන්තර්ජාල සූම් තාක්ෂණය හරහා මෙය සංවිධානය කෙරේ. ලබා දී ඇති අදාළ ප්‍රවේශයන් වෙත පිවිස ඕනෑම අයෙකුට නොමිලේ මෙම අවස්ථාව සඳහා සම්බන්ධ විය හැකිය.

මේ සඳහා වන ෆේස්බුක් පිටුව වෙත https://fb.me/e/2boBCKnYw ඔස්සේ පිවිසිය හැකිය.

මෙම හමුව සඳහා ක්‍රිස්වර්ල්ඩ් සමාගමේ කළමනාකරණ කණ්ඩායම සහ අදාළ මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙස කටයුතු කරන Atarah Capital Partners සමාගමේ නියෝජිතයන්ද සහභාගි වීමට නියමිතව ඇතැයි පවසයි.

ශ්‍රී ලංකාවේ පිහිටි භාණ්ඩ ගබඩා කර තබා ගැනීමේ සහ ප්‍රවාහනය හා සම්බන්ධ තෙවැනි පාර්ශ්වයේ සමාගමක් (3PL) ලෙස ක්‍රිස්වර්ල්ඩ් පෞද්ගලික සමාගම ක්‍රියාත්මක වෙයි.

මෙම අන්තර්ජාල හමුවේදී සමාගම පිහිටුවීම සඳහා එක් වූ ව්‍යවසායකයන් තිදෙනෙකුගේ සාර්ථක කතාව පිළිබඳව පැමිණෙන පිරිස දැනුම්වත් කිරීමත් සිදු කෙරෙන බව සඳහන් වෙයි.

අද වනවිට වෘත්තීය මට්ටමේ කණ්ඩායමකින් සමන්විත සේවක පිරිසක් ක්‍රිස්වර්ල්ඩ් පෞද්ගලික සමාගම සතුව ඇතැයි පවසයි.

එසේම වර්තමානයේදී වර්ග අඩි 460,000ක ගබඩාපහසුකම් සහිත සමාගමක් බවට පත්වීම සඳහා ස්ථිරසාරව වර්ධනය වූ සමාගමක් බවටද එය හඳුන්වා දෙයි. මීට අමතරව ඉදිරියේදී වර්ග අඩි මිලියනයක ධාරිතාවක් සහිත ගබඩා පහසුකමක් වෙනුවෙන් සැලසුම් සකස් කරමින් සිටින බවත් Chrissworld සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 303