කොළඹ උද්ධමනය මාර්තුවේදී ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවැති 3.3% සිට මාර්තු මාසයේදී 4.1%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් පවසයි.

මෙහිදී 2020 මාර්තු මාසයේ පැවැති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වූ බව මහ බැංකුවේ සංඛ්‍යාව දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේදී පැවැති 7.9% සිට 2021 මාර්තු මාසයේදී 9.6%ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේදී පැවැති 1.3% සිට 2021 මාර්තුවේදී 1.8%ක් දක්වා ඉහළ නැග ඇත.

මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2021 පෙබරවාරි මාසයේදී පැවැති 4.1% සිට 2021 මාර්තු මාසයේදී 4.0% දක්වා පහළ යාමක්ද සිදුව තිබේ.

එසේම 2021 මාර්තු මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස -0.18෴ක් ලෙස වාර්තා වී තිබේ. ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන් පහළ යෑම මේ සඳහා හේතු වී ඇත.

මීට අමතරව 2021 මාර්තු මාසයේදී අහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස් වීම් පිළිවෙලින් -0.49%ක් සහ 0.31%ක් ලෙස වාර්තා වී ඇත.

ඒ අනුව 2021 මාර්තු මාසයේදී ආහාර කාණ්ඩයෙහි එළවළු, අමු මිරිස්. නැවුම් මත්ස්‍යසහ කහ කුඩු මිල ගණන් පහළ ගොස් ඇත. එසේම ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයෙහි මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන් ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක්ද 2021 මාර්තු මාසයේදී වාර්තා වී තිබේ.

Views: 75