මුල් මාස තුනේදි විදේශ ආයෝජන පිටතට ගලා යෑම් රු.බි 17.68ක් වෙයි

මාර්තු මාසයේ අවසන් දිනය ලෙස අද (මාර්තු 31දා) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු පහත වැටීමක් පෙන්නුම් කෙරිණි. විශේෂයෙන්ම බැංකු මගින් සිදුකළ ලාභාංශ ගෙවීමෙන් අනතුරුව ආයෝජකයන් ලාභ ඉපැයීම් සඳහා සඳහා යොමු වීමත් සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සි සමාගමේ සිදු වූ විදේශ ආයෝජන පිටත ගලායෑම් යනාදියද දර්ශක අගයන් වෙත දැඩිව බලපෑ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම ආයතනික ආයෝජකයන් වෙළෙඳපොළ වෙත සහභාගි වීම තවදුරටත් පහළ අගයකට පත්ව තිබීමත් මෙම දර්ශක අගයන් පහත වැටීමට හේතුවක් ලෙසද එම සමාගම් සඳහන් කරයි. එහෙත් තනි පුද්ගල ආයෝජකයන් බැංකු සම්බන්ධයෙන් දැක් වූ කැමැත්ත දිනයේ පසු අවස්ථාවේදී සියලු කොටස් මිල දර්ශකයන යම් පමණකින් හෝ ඉහළට ඒමට දායක වී තිබේ.   

ඒ අනුව අද දිනයේදී ඒකක 7,089.59ත් ඒකක 7,127.22ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,121.28 ක් බවට පත්විය. එය ඊයේ (මාර්තු 30) දිනයට සාපේක්ෂව ඒකක 6.16 ක් එනම් +0.09%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ලයන් බෘවරි සිලෝන් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු දිනයේ පිරිවැටුමෙන් 8.2%ක් සඳහා දායකත්වය ලබා දී ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 96ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 71ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (+5.26), හේලීස් පීඑල්සී HAYL (+3.6), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+3.58), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+3.56), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+3.37), සම්පත් බැංකුව SAMP (-7.33), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-7.07), කොමර්ෂල් බැංකුව COMB (-6.92), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.53), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-2.4) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,850.12 ක අගයක් ගත් අතර, එය  ඊයේ (මාර්තු 30) දිනයට සාපේක්ෂව ඒකක 31.55 ක එනම් -1.09%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 777.89ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (මාර්තු 30) වාර්තා කළ රුපියල් බිලියන 7.45 ට සාපේක්ෂව 90% ක ඉහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.11ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.09%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් බිලියන 47.69ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 84.59ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 36.9කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 17.68ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය සීඅයිසී හෝල්ඩිංග්ස් නිෂ්ඡන්ද කොටස් විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.68 කි. එසේම සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 12.57ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 191ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 25% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ බැංකු දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 170ක සහ රුපියල් මිලියන 130ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 198