ආයෝජක සහභාගිත්වය අඩුවීම නිසා දර්ශක අගයන් පහළට

අද (මාර්තු 15දා) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු වඩාත් ධනාත්මක ලෙස ආරම්භ වුවත්, ආයතනික ආයෝජකයන්ගේ අඩු සහභාගිත්වය සහ තනි පුද්ගල ආයෝජකයන් තුළ පෙන්නුම් කළ විපරම්සහගත බව හේතුවෙන් වෙළෙඳපොළ පසුබෑමක් සිදු වුණු බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම විශාල ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් තුළ පැවැති ද්‍රවශීලතාවද දර්ශක අගයන් පහත වැටීමට හේතු වී තිබේ. ඒ අනුව මේ සියල්ලගේම ප්‍රතිඵල ලෙස අද දිනයේදී පිරිවැටුම පෙර දිනයට සාපේක්ෂව 20.8% කින් පසු බැසීම සිදු විය.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,158.10ත් ඒකක 7,275.77ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,160.41 ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (මාර්තු 12) දිනයට සාපේක්ෂව ඒකක 87.07 ක් එනම් -1.20%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 32ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 128ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී CCS (+4.67), කොමර්ෂල් බැංකුව COMB (+2.01), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (+0.82), සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී SINS (+0.77), හැටන් නැෂනල් බැංකුව HNB (+0.7), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-11.68), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-5.28), වැලිබල් වන් පීඑල්සී VONE (-5.21), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-4.47), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා DIST (-4.21) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,862.81 ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (මාර්තු 12) දිනයට සාපේක්ෂව ඒකක 30.63 ක එනම් -1.06%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 812.45ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (මාර්තු 12) වාර්තා කළ රුපියල් බිලියන 1.03කට සාපේක්ෂව 21% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.13ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 5.76%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 73.53ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 140.09ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 66.56කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 15.14ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.4 කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 54.16ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 175ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 22% ක අගයක් ගෙන තිබේ. බැංකු සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 160ක සහ රුපියල් මිලියන 152ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 327