සුඛෝපභෝගී යාත්‍රා සඳහා විවෘත වුණු පෝර්ට් සිටියේ මරිනා අංගනය

කොළඹ වරාය නගරය වෙත පැමිණෙන සුඛෝපභෝගී යාත්‍රා නැවැත්වීම වෙනුවෙන් ඉදි කෙරුණු මරීනා අංගනය පසුගියදා සිය මෙහෙයුම් සඳහා විවෘත කළ බව කොළඹ වරාය නගරය පවසයි.

ඒ අනුව එහි එක් අවස්ථාවක් ලෙස මෙරට Porsche මෝටර් රථ හිමිකරුවන්ගෙන් සමන්විත Porsche සමාජයේ සාමාජිකයන් පිරිසක් සිය පවුල්වල සාමාජිකයන්ද සමගින් මෙම මරිනා අංගනයේ සහ එහි නවත්වා ඇති සු‍ඛෝපභෝගී යාත්‍රාවල නැගී සංචාරයක නිරත වූ බව සඳහන් වෙයි.

කොළඹ මධ්‍යම වාණිජ කලාපයේ දිගුවක් ලෙසින් අලුතින්ම ඉදිවන ව්‍යාපෘතියක් ලෙස කොළඹ වරාය නගර ව්‍යාපෘතිය හැඳින්වෙයි.

එහි මූලික ආයෝජනය ඇමරිකානු ඩොලර් 1.4 ක් වන අතර ඒ යටතේ මුහුදු ගොඩ කිරීමෙන් හෙක්ටයාර 269ක අලුත්ම භූමියක් කොළඹ වාණිජ කලාපයට සම්බන්ධ කෙරී ඇත. මෙහි සමස්ත ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 15 කි. ‍

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය – මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යාත්‍රාංගනය හා දූපත් වාසය ලෙස අනු කලාප 5 කින් නිර්මාණය කෙරී ඇත.

ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය, වර්ග මීටර මිලියන 5.7 ක් වූ භෞමික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ A ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම්වලින්ද සමන්විත වෙයි.

එසේම නූතන පරිසර හිතකාමී තිරසාර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ඉදිවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම කේන්ද්‍රීය මධ්‍යස්ථානය වනු ඇතැයිද කොළඹ වරාය නගරය පවසයි

Visits: 544